දෙවැනි යුද්ධය ජයගන්න ටිරාන් සහාය ඉල්ලයි


පොලීසිය ඉරිදා සිට වැඩ අරඹයි

රටේ පැවතුණු ත්‍රස්තවාදී යුද්ධය අවසන් කරන්නට සියලුම දෙනා එක් වූ අයුරින්, වර්තමානයේ මුහුණ දී තිබෙන මත්ද්‍රව්‍ය ඇතුළු අපරාධ මැඩපැවැත්වීමේ යුද්ධයට සියලුම දෙනාගේ උදව් අපේක්ෂා කරන බව, මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් මහතා පැවසීය. මත්ද්‍රව්‍ය සහ පාතාලය මැඩීම වෙනුවෙන් රට පුරා දියත් කරන මෙහෙයුම සම්බන්ධයෙන්, මාධ්‍ය ආයතනය හිමිකරුවන් සහ මාධ්‍ය ප්‍රධානීන් දැනුම්වත් කිරීම සඳහා පැවති සාකච්ඡාවේදී, ඔහු මේ බව පැවසීය.

“රටේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන්, මත්ද්‍රව්‍යත් පාතාලයත් මර්දනය කළ යුතුයි. ඒ සටනේ දී, ඉදිරියට තබන කිසිදු අඩියක් ආපස්සට නොගන්නා ලෙස, මා පොලිස්පතිතුමා ඇතුළු නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා. ඒ වෙනුවෙන් ගන්නා ඕනෑම පියවරක් වෙනුවෙන් මා පෙනී සිටිනවා. මෑත කාලය තුළ, අපරාධවල යම් අඩුවක් දක්නට ලැබුණත්, එය සම්පූර්ණයෙන්ම මර්දනය කිරීම මගේ ඉලක්කයයි.” යැයි අමාත්‍යවරයා පැවසීය. 


මෙහිදී අදහස් දැක් වූ වැඩබලන පොලිස්පති, දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසුවේ, මත්ද්‍රව්‍ය සම්බන්ධ තොරතුරු කිසිදු බියකින් තොරව පොලීසියට ලබාදීමට මහජනතාවට හැකි බවයි. 


ඒ සඳහා රහස්‍යභාවය සුරැකෙන අයුරින් වැඩපිළිවෙළක් සකස් කර ඇති බවද, දුරකතන මාර්ගයෙන් ලබා දෙන පණිවුඩවලදී, පණිවුඩය ලබා දෙන්නාගේ අනන්‍යතාව හෙළි නොවන ආකාරයට, එම ක්‍රියාවලිය සකසා ඇති බවද වැඩබලන පොලිස්පතිවරයා පැවසීය. රටේ අනාගතය වෙනුවෙන්, ශ්‍රී ලංකා පොලීසිය ඉරිදා (17දා) සිට දියත් කරන මෙම දැවැන්ත වැඩපිළිවෙලට සියලු දෙනාගේම සහයෝගය අපේක්ෂා කරන බව ද දේශබන්දු තෙන්නකෝන් මහතා වැඩිදුරටත් පැවසීය.  


(මත්ද්‍රව්‍ය තොරතුරු ලබා දිය හැකි දුරකතන අංක 28 වැනි පිටුවේ පළවේ)