දුරකථනයට නොඑන ඇමැතින් ගැන මන්ත්‍රීවරුන්ගෙන් ජනපතිට පැමිණිල්ලක්


සුජිත් හේවාජුලිගේ

දුරකථන ඇමතුමකටවත් ප්‍රතිචාර නොදක්වන බව පැවසෙන ඇමැතිවරුන් කිහිප දෙනකු ගැන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පැමිණිලි කර ඇත.

මේ සම්බන්ධයෙන් එම මන්ත්‍රීවරුන් දැඩි සේ කනස්සල්ලට පත්ව සිටින බව වාර්තා වේ. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර සුමිත්‍රාආරච්චි මහතා ප්‍රකාශ කර ඇත්තේ ආණ්ඩුවේ කටයුතු සම්බන්ධයෙන් ජනතාවට මන්ත්‍රීවරුන් ලෙස වගකිවයුතු සහ පිළිතුරු දීමට සිදුවී ඇති අවස්ථාවක ඇතැම් ඇමැතිවරුන් දුරකථන ඇමතුමකටවත් ප්‍රතිචාර නොදැක්වීම බරපතළ ගැටලුවක් බවයි. 


මේ අතර හිටපු ඇමැතිවරයකු මෙන්ම වර්තමානයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයකු තරුණ ඇමැතිවරයකුට දුරකථන ඇමතුම් කිහිපයක්ම ගෙන ඇතත් ඔහු ඒ කිසිදු ඇමතුමකට ප්‍රතිචාර දක්වා නැතැයි පැවසේ. 
අනතුරුව ඔහු ඇමැතිවරයා සම්බන්ධ කරගෙන ඇතැයි පැවසෙන්නේ ජනාධිපතිවරයාගේ කාර්යාලයේ නිලධාරියකු මාර්ගයෙනි. 


මේ ඇමැති තනතුරු දරන කීප දෙනා අතර එක් අයකු තරුණ මන්ත්‍රීවරයකු බවත් ඔහුට ඒ ඇමැති තනතුර පවා ලැබී ඇත්තේ පළමු වතාවට බවත් දැනගන්නට ඇත.