දිනකට වංචා​ කරන මුදල ලක්ෂ 20 ක්


හදිසි වැටලීම් ඒකකයත් හවුල්

- ඇමති බන්දුල ගුණවර්ධන

අජන්ත කුමාර අගලකඩ

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ප්‍රවේශපත්‍ර ආදායමෙන් දිනකට රුපියල් ලක්ෂ විස්සක පමණ මුදලක් ඇතැම් රියදුරන් සහ කොන්දොස්තරවරුන් වංචා කරන බව ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය ඇමති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඉරිදා ලංකාදීපයට පැවැසීය.


ලංගම බස් රථවල ප්‍රවේශපත්‍ර ආදායම වංචා කිරීමට හදිසි වැටලීම්  ඒකකයේ ඇතැම් නිලධාරීන් ද රියැදුරන් හා කොන්දොස්තරවරුන් සමග එක්ව කටයුතු කරන බැවින්, එම ඒකකය ද අගෝස්තු 11 වැනිදා සිට විසුරුවා හැරි බව ඇමතිවරයා සඳහන් කළේය. 

හදිසි වැටලීම් ඒකකය විසුරුවා හැරීමෙන් අනතුරුව සම්මුඛ පරීක්ෂණ පවත්වා අලු‍තෙන් නිලධාරීන් පත් කරගන්නා ලෙස ලංගම සභාපතිවරයාට දැනුම් දී ඇතැයි ද ඔහු කීවේය.
මේ අතර, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස් මහතාගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ ලංගම බස්රථවල ප්‍රවේශපත් ආදායමෙන් මසකට රුපියල් කෝටි 6 ක පමණ මුදලක් ලංගමට අහිමි වෙන බව ය.


ලංගම හදිසි වැටලීම් ඒකකයේ දෙසීයක පමණ පිරිසක් සේවය  කරන අතර, මෙම තත්ත්වය  හමුවේ එම ඒකකය විසුරුවා හරින ලෙස ඇමැතිවරයා උපදෙස් දී ඇති බව ඔහු කීවේය
ලංගම සාමාන්‍යයෙන් දිනකට රුපියල් මිලියන 145ක  පමණ ආදායමක් ලබන අතර, සිකුරාදා සහ සඳුදා දිනවල රුපියල් මිලියන 160ක, 162ක පමණ ඉහළ ආදායමක් ලබන බවද ඔහු කීවේය.


ලැබෙන ආදායමෙන් විශාල කොටසක් කොන්දොස්තරවරුන් හා රියදුරන් එක්ව වංචා කිරීම බරපතළ ගැටලු‍වක් බවද ඔහු කීවේය.


මේ අතර, අධිවේගී මාර්ගයේ කඩවත - ගාල්ල අතර  ධාවනය වූ රථයක මගීන්ට  ටිකට් නොදී මුදල් අයකිරීමෙන් රුපියල් 40,000 ක මුදලක් වංචාකර ඇති බව කී හෙතෙම, එම බස් රථයේ රියැදුරා සහ කොන්දොස්තරවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රිමාන්ඩ් ගත කර ඇති බව කීවේය.