දිනකට කෝටි 1050ක් රජය ලෝකෙට ණයයි


පේරාදෙණියේ අධ්‍යයනයකින් හෙළි වෙයි

සුජිත් හේවාජුලිගේ

ශ්‍රී ලංකා රජයට සිය කටයුතු පවත්වාගෙන යෑම සඳහා දිනකට රුපියල් කෝටි 1050 ක පමණ මුදලක් ලෝකයට ණයවීමට සිදුවී ඇතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා ඉරිදා ලංකාදීපයට පැවැසීය.

රජයේ මේ වසරේ දිනක ආදායම (ලැබීම්) රුපියල් කෝටි 653 ක් වන අතර දිනක රජයේ වියදම කෝටි 1705 ක් බවද මහාචාර්යවරයා කීවේය.   


මේ අතර අයවැය ලේඛනය අනුව රජයේ ලබන වසරේ දිනක ආදායම රුපියල් කෝටි 950 ක් බව පැවසූ අතුකෝරළ මහතා ලබන වසරේ රජයේ වියදම කෝටි 2160 ක් දක්වා වැඩිවන බවද ප්‍රකාශ කළේය.  


රජයේ ආදායම ලබන වසරේ මෙලෙස වැඩි ​ෙවන්නේ බදු අයකිරීම් වැඩිවීම නිසා බවද හෙතෙම පැවසීය.  


මේ අනුව ලබන වසරේ දිනක රජයේ ණය ගැනීම් ප්‍රමාණය කෝටි 1364 දක්වා ඉහළ යනු ඇතැයි ඔහු සඳහන් කළේය.


රජයේ ආදායම සහ වියදම අතර පරතරය විශාල වශයෙන් වැඩිවෙමින් පවතින බවත් රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය වැරදි දිසාවකට ගමන් කරන ආකාරය ඉන් පෙන්නුම් කෙරෙන බවත් වසන්ත අතුකෝරල මහතා කීවේය.   


මේ අතර එක් පුද්ගලයකු වෙනුවෙන් රජය මේ වර්ෂයේ දී දිනකට ගන්නා ණය ප්‍රමාණය රුපියල් 473කි. එය පසුගිය වර්ෂයේදී පැවතුණේ රුපියල් 371ක් වශයෙනි.   
රජයට ලබන වසරේදී එක් පුද්ගලයකු වෙනුවෙන් ගැනීමට සිදුවන ණය ප්‍රමාණය රුපියල් හයසිය නවයක් දක්වා වැඩිවන බව මහාචාර්යවරයා වැඩිදුරටත් පැවසීය.