දරුවන්ගේ ඉගෙනුමට දුන් කෝටි 15 න් කෝටි 12 ක්ම පිට වැඩවලට දාලා


සුජිත් හේවාජුලිගේ

කොවිඩ් බලපෑම හේතුවෙන් පාසල් අධ්‍යාපනයේ ඇතිවූ බාධා මගහරවා ගැනීම සඳහා වැඩසටහන් මෙහෙයවීමට ජාතික අධ්‍යාපන ආයතනයට 2020 වර්ෂයේ දී  දුන් රුපියල් පහළොස් කෝටියක මුදලින් කෝටි 12 ක්ම එම අරමුණට බාහිර කටයුතු වෙනුවෙන් වැය කර තිබූ බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලු‍ත්ම වාර්තාවක සඳහන් වේ.

අධ්‍යාපනයේ ඇති වූ බාධා මගහරවා ගැනීම සඳහා ගුරුගෙදර වැනි රූපවාහිනී සහ වෙනත් වැඩසටහන් මෙහෙයවීම සඳහා මෙම මුදල දෙනු ලැබුවේ අධ්‍යාපන අමාත්‍යාංශය සහ වෙනත් සංවිධාන විසිනැයි ද එම වාර්තාවේ දැක්වේ. මෙය  ගැටලු‍කාරී තත්වයක් බව විගණන කාර්යාලය පෙන්වාදී ඇත.


මේ අතර ජාතික අධ්‍යාපන ආයතනය 2006 වර්ෂයේ සිට 2015 වර්ෂය දක්වා කාලයට අදාළව ගෙවිය යුතු රුපියල් හත් කෝටියකට ආසන්න  හිඟ අර්ථසාධක හා අධිභාර මුදල 2020 වර්ෂය අවසාන වනවිටත් නිරවුල් කර නොතිබූ බව එම වාර්තාවේ සඳහන් වේ. නිකුත් කළ නමුත් ගෙවීම සඳහා ඉදිරිපත් නොකළ මාස හය ඉක්මවූ රුපියල් කෝටියකට ආසන්න වටිනා චෙක්පත් හතළිස් හතරක් සම්බන්ධයෙන් මුදල් රෙගුලාසි ප්‍රකාරව කටයුතු කර නොතිබුණු බව විගණන කාර්යාලය කියයි.


මේ තොරතුරු සඳහන් වන්නේ ජාතික අධ්‍යාපන ආයතනයේ 2020 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය.