තෝරාගත් සේවකයන්ට කෝටි ගණනින් මුදල් බෙදලා


ලං.වි.ම දැවැන්ත පාඩුවක් විගණනය සොයා ගනී

 

(සුජිත් ​හේවාජුලිගේ)  

ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය අමාත්‍ය මණ්ඩල තීරණවලට සහ කළමනාකරණ සේවා චක්‍රලේඛයට පටහැනිව කාර්ය මණ්ඩල සඳහා පමණ ඉක්මවා වැටුප් සහ දීමනා ගෙවා ඇතැයි කියන සිද්ධීන් කිහිපයක් සම්බන්ධයෙන් ජාතික විගණන කාර්යාලය තොරතුරු අනාවරණය කරගෙන ඇත. 

මණ්ඩලය එලෙස නීති විරෝධී ආකාරයට වැටුප් සහ දීමනා සඳහා වැය කර ඇති මුදල රුපියල් කෝටි හාරදහස් පන්සිය එකොළහකට (4511) වැඩි බව එම විගණන කාර්යාලය පවසයි.  
මණ්ඩලය පාඩු ලැබීමට මෙවැනි නාස්තිකාර වියදම් ද හේතු වී ඇතැයි විගණන නිලධාරීහු පෙන්වා දෙති.  ලංකා විදුලිබල මණ්ඩලය අමාත්‍ය මණ්ඩල තීරණවලට සහ කළමනාකරණ සේවා චක්‍රලේඛයට පටහැනිව 2019 වර්ෂයේ දී ගෙවනු ලැබ ඇතැයි පැවසෙන කාර්ය මණ්ඩලයේ දීමනා සහ අනිකුත් වියදම්වල වටිනාකම රුපියල් කෝටි 171කි.  
මේ අතර අමාත්‍ය මණ්ඩල තීරණය ප්‍රකාරව 2009 වැටුප් සංශෝධනය යටතේ සේවකයන්ගෙන් අයකර ගත යුතුව තිබූ උපයන විට ගෙවීම් බදු එසේ අය නොකර ඒ වෙනුවෙන් රුපියල් කෝටි 491ක මුදලක් මණ්ඩලය 2010.2019 අතර කාල​යේදී අතිරේක වියදමක් ලෙස දරා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.  


මෙයට අමතරව විදුලි බල මණ්ඩලයේ සේවකයන් සඳහා CA/WRIT/193/2015 දරන උසාවි තීන්දුවට පටහැනිව 2019 වර්ෂයේ දී රුපියල් කෝටි 3850 ක පමණ මුදලක් වැටුප් ලෙස ගෙවා ඇතැයි කියන සිද්ධියක් පිළිබඳව ද විගණන අංශ තොරතුරු හෙළි කරගෙන ඇත.  


මේ අතර විදුලිබල පනතට පටහැනිව රජයේ ප්‍රසම්පාදන නීති අනුගමනය නොකර ගි. වො. පැය 2165 ක විදුලිය වෙනුවෙන් රුපියල් කෝටි 5400ක් වැයකර ජනන බලපත්‍රය නොමැති බලාගාරවලින් 2019 වර්ෂ​යේදී හදිසි මිලදී ගැනීම් කර ඇතැයි කියන සිද්ධියක් පිළිබඳව ද විමර්ශනවලදී තොරතුරු අනාවරයය වූ බව විගණන කාර්යාලය පවසයි.