තේ දල්ලේ මිල ප්‍රමාණවත් නෑ


වැවිලිකරුවන්ගේ සංගමය කියයි 

ඉන්දික හේවාවිතාරණ

තේ දලු කිලෝවක් සකස් කර ගැනීමට යන වියදම් ඉහළ යාමට සාපේක්ෂව හා තේ දලු කිලෝවකට ගෙවන මුදල ප්‍රමාණවත් නොවීම නිසා කුඩා තේ වතු කර්මාන්තකරුවන් ලක්ෂ පහකට අධික පිරිසක් දැඩි දුෂ්කරතාවට පත්ව සිටින බව ජාතික වැවිලිකරුවන්ගේ සංගමය  සඳහන් කරයි.

පොහොර මිල හා ශ්‍රම කුලී ඉහළ යාම නිසා තේ දලු කිලෝවක් නිෂ්පාදනය කරගැනීම සඳහා රුපියල් 130-150 ත් අතර මුදලක් වැය වුවද දලු කිලෝවක් මිලදී ගන්නේ රු. 125-200 අතර මුදලකට බවද එම සංගමයේ ලේකම් වසන්ත අල්විස් මහතා සඳහන් කළේය.


තේ වගාව සඳහා භාවිත කරන පොහොර මිල අඩු කළ බවට ආණ්ඩුව සඳහන් කළත්, පැළ සිටුවා අවුරුදු දෙකක් යනතුරු වගාවට යොදන  T 200 පොහොර කිලෝ පනහක් රු. 6850 ක් බවත්, අවුරුදු 05 ට අඩු වගාවට යොදන T 750 පොහොර කිලෝ පනහක් රු. 7150 ක් බවත් හෙතෙම පැවසීය.
අවුරදු 05 ට වැඩි වගාව සඳහා යොදන U 709 පොහොර කිලෝ 50 ක මිල 10500 ක් බවත්, මෙම සියලු‍ම පොහොර මීට වසර දෙක තුනකට පෙර අලෙවි වූයේ රු. 800 -1500 අතර මුදලකට බවත් ඒ මහතා පැවසීය.


මේ වෙන විට දලු නෙළන ශ්‍රමිකයන්ට දලු කිලෝවක් සඳහා රු. 50- 60 අතර මුදලක් ගෙවිය යුතු බවත්, වගාවන්හි වල් මර්දනය කිරීමට යොදා ගන්නා වල් නාශක ලීටරයක මිල රු. 5000 දක්වා ඉහළ ගොස් තිබෙන බවත් වසන්ත අල්විස් මහතා සඳහන් කළේය.
ගස් කප්පාදු කිරීම, කානු සකස් කිරීම හා පොහොර යෙදීම හා වල් නාශක ඉසීම වෙනුවෙන් ශ්‍රමිකයෙකුට පැයකට රු.350ක මුදලක් ගෙවිය යුතු බවද හෙතෙම පැවසීය.