තෙල් සංස්ථාව බිලියන පහක බදු ගෙවීම පැහැර හැරලා


ආනයනය ගැන නිවැරදි දත්ත රේගුවට දී නෑ  

රේගු අධ්‍යක්ෂ ජනරාල්  මුදල් අමාත්‍යංශ ලේකම්ට දැනුම් දෙයි  

(දයාසීලි ලියනගේ)  

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මගින් ආනයනය කරනු ලබන ඉන්ධන පිළිබඳ නිවැරදි දත්ත රේගුවට ලබා නොදීමෙන් රුපියල් බිලියන 5කට ආසන්න බදු මුදලක් ගෙවීම පැහැර හැර ඇති බව ශ්‍රී ලංකා රේගුව මගින් මුදල් අමාත්‍යංශයට දැනුම් දී ඇත.  

ඒ අනුව 2020 වර්ෂයේ මුල් මාස 9 දී පමණක් රුපියල් බිලියන 2.5ක් ද ඊට පෙර වර්ෂවලදී බිලියන 1.5 කට වැඩි ප්‍රමාණයක්ද බදු මුදල් අහිමිවී ඇති බව රේගු අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජනරාල් ජී.වී. රවිප්‍රිය මහතා විසින් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා වෙත ලිඛිතව දන්වනු ලැබ තිබේ.  


ලැබිය යුතු බදු මුදල් සම්බන්ධයෙන් කරන ලද දැනුම්දීම් වලට සංස්ථාව ප්‍රතිචාර නොදක්වන බැවින් අදාළ බදු මුදල් අය කර ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවද රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා දන්වා යවා ඇත.  
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සැබෑ දත්ත ඉදිරිපත් නොකර බදු මුදල් ගෙවීම පැහැර හැර ඇතත් ඉන්දියානු තෙල් සමාගම නිවැරදිව බදු ගෙවා ඇති බවද එම ලිපියේ සඳහන් කර ඇත.