තුර්කි අහසේ සිදුවීම තුර්කි ගුවන් පාලකට එරෙහි විමර්ශනයක් ඉල්ලා සිටිය හැකියි


දයාසීලි ලියනගේ

ශ්‍රී ලංකන් යානයකට අවදානමක් ඇති වන ආකාරයට වැරදි උපදෙස් ලබාදී ඇති තුර්කි ගුවන් පාලන මැදිරිය සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස ඉල්ලා සිටීමේ වගකීම සිවිල් ගුවන් සේවා අධිකාරිය සතුවන බව ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නිදහස් සේවක සංගමයේ සභාපති ජනක විජයපතිරත්න මහතා සඳහන් කරයි.

මගීන් 275 සහ කාර්ය මණ්ඩලය 15 දෙනෙක් සමග ලන්ඩනයේ හීතෘ ගුවන් තොටුපොළේ සිට කොළඹ බලා පැමිණෙමින් තිබූ යූ.එල්. ගුවන් යානයට තුර්කි ගුවන් සීමාවේදී දෙන ලද උපදෙස් අනුව ක්‍රියාකළා නම් බරපතළ ගුවන් අනතුරක් සිදුවීමට ඉඩ තිබුණු බව වාර්තා වේ. 


ශ්‍රී ලංකන් ගුවන් යානයේ නියමුවා, සිය ගුවන් යානයේ රේඩාර් යන්ත්‍රය ගැන අවධානයෙන් සිටි නිසා ගුවන් පාලක මැදිරියේ උපදෙස් නොසලකා හැරීමෙන් ජීවිත ගණනාවක් අනතුරින් වළක්වා ගැනීමට හැකිවී තිබේ.   
ශ්‍රී ලංකාවට අයත් ගුවන් පාලක මැදිරියකින් මේ ආකාරයෙන් වැරදි උපදෙස් ලබාදී තිබුණා නම් ජාත්‍යන්තරය එක හඬින් ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රියාකරනු ඇතැයි කී ජනක විජයපතිරණ මහතා මේ සිද්ධියට අදාළව තුර්කි ගුවන් පාලක මැදිරිය සම්බන්ධයෙන් විමර්ශනයක් කළයුතු බවට ඉල්ලා සිටිය යුතුව ඇතැයි ද කීය.