ත්‍රි’මලය බලශක්ති කේන්ද්‍රයක් වෙයි


චාමර සම්පත්

ත්‍රිකුණාමලය ප්‍රදේශය බලශක්ති කේන්ද්‍රයක් ලෙස සංවර්ධනය කිරීම සඳහාත්  ශීඝ්‍ර ආර්ථීක වර්ධනයක් ඇතිකරගැනීම සඳහාත් ඉන්දියාව සහ ජපානය සමග එක්ව වැඩ කිරීමට රජය සැලසුම්කර තිබේ.

ඉන්දියාවේ නවදිල්ලි නුවර දී  පසුගියදා (10දා)  මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර එකඟත්වයට පැමිණි‚ බව ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා ට්විටර් පණිවුඩයක් මගින් ප්‍රකාශ කර තිබේ.


ශ්‍රී ලංකාවේ ශීඝ්‍ර ආර්ථීක වර්ධනයක් ඇතිකරගැනීම උදෙසා ලෝක ආර්ථීක බලවතුන් වන ඉන්දියාව සහ ජපානය සමග එක්ව නව ත්‍රෛපාර්ශ්වික වැඩසටහනක් දියත් කිරීමට රජය පියවර ගෙන තිබෙන අතර ජපානයේ විවෘත සහ නිදහස් ඉන්දු - පැසිෆික් සාගර කලාපයක් යන විදේශ ප්‍රතිපත්තිය සහ ඉන්දියාවේ අසල්වැසියා ප්‍රථමයෙන් යන විදේශ ප්‍රතිපත්තීන් ද්විත්වය ශ්‍රී ලංකාවේ සංවර්ධන උපාය මාර්ග සමග වඩාත් හොඳින් මුහුකරගැනීම මෙම වැඩසටහනේ අරමුණ බවද මෙහිදී අවධාරණය කර ඇත. ‍


ඉන්දියාවේ නවදිල්ලි නුවර දී  පසුගියදා (10දා) පැවති මෙම වැඩසටහනට ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් මිලින්ද මොරගොඩ , ඉන්දියාවේ ජපාන තානාපති හිරෝෂි සුසුකි, ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ඉන්දීය සාගර කලාපය පිළිබඳ සහකාර ලේකම් පූනෙත් අග්‍රවාල්, ඉන්දියාවේ උපාය මාර්ගික සහ ආරක්ෂක අර්බුද පිළිබඳ පර්යේෂණ ආයතනයේ ප්‍රධානී ආචාර්ය අරවිද් ගුප්තා ඇතුළු ඉහළ පෙළේ රාජතාන්ත්‍රික නිලධාරීන් රැසක් සහභාගී වී තිබේ. 


මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණු ලෙස අඩු කාබන් විමෝචනයක් සහිත බලශක්ති උත්පාදනය, ත්‍රිකුණාමලය බලශක්ති කේන්ද්‍රයක් ලෙස සංවර්ධනය කිරීම, ගුවන් නාවුක සහ ගොඩබිම් සම්බන්ධතාවයන් වර්ධනය කරගැනීම, ත්‍රෛපාර්ශ්වික රාජ්‍යයන්හි  ජනතාව අතර සම්බන්ධතාවය ප්‍රවර්ධනය කිරීම, සංචාරක ප්‍රවර්ධනය, පුහුණු අවස්ථා සහ කුසලතා සංවර්ධන වැඩසටහන් දියත් කිරීම, අධ්‍යාපනික අවස්ථා පුළුල්කිරීම දක්වා ඇත.


පසුගියදා ශ්‍රී ලංකා‌වේ ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරයේදී සහ ජපාන විදේශ කටයුතු අමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුරදී ඉහත වැඩපිළිවෙලට අදාළව ඉන්දු - ජපන් ශ්‍රී ලංකා රාජ්‍ය නායකයින් අතර දීර්ඝ වශයෙන් සාකච්ඡා සිදුකර ඇති බවට තොරතුරු වාර්තාවේ.


චීනයේ — එක් මාවතක් - එක් තීරයක් සංවර්ධන ණය යෝජනා ක්‍රමයට විකල්පයක් වශයෙන් බටහිර බලවතුන්ගේ දායකත්වය ද සහිතව ජපානය විසින් — විවෘත සහ නිදහස් ඉන්දු පැසෆික් සාගර කලාපයක් යන තේමාව යටතේ ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවලට ආධාර ලබාදීම සඳහා නව ප්‍රවේශයක් ගෙන තිබේ.