තවත් සතියකට සංචරණය සීමා කරන්න


සෞඛ්‍ය අංශ ජනපතිගෙන් ඉල්ලයි

(අජන්ත කුමාර අගලකඩ)   

කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා රට පුරා පනවා ඇති සංචරණ සීමා තවත් සතියකින් දීර්ඝ කරන්නැයි සෞඛ්‍ය අංශ රජයට යෝජනා කර ඇතැයි වාර්තා වේ.  

එසේ නොවුණහොත්, සංචරණ සීමා පනවමින් දැනට ගෙන ඇති ක්‍රියාමාර්ගවල නිසි ප්‍රතිඵල නොලැබෙනු ඇතැයි ද ඔවුන් පෙන්වා දී ඇති බව සෞඛ්‍ය අංශ ආරංචි මාර්ග සඳහන් කරයි.   


කොරෝනා රෝගීන් 3000ක් ඉක්මවා දෛනිකව වාර්තා වීම බරපතළ තත්ත්වයක් බවත්, එහි යම් පාලනයක් සඳහා සංචරණ සීමා නිසි පරිදි ක්‍රියාත්මක විය යුතු බවත්, සෞඛ්‍ය අංශ රජයට පෙන්වා දී ඇත.   
මේ අතර, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ද මෙම යෝජනාව සඳහන් පිටු තුනකින් යුත් ලිපියක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ඉකුත් දෙවැනි ද‌ා යවා ඇතැයි ද දැනගන්නට ඇත.   
කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා රජය විසින් ඉකුත් විසිඑක් වෙනිදා රට පුරා සංචරණ සීමා පනවනු ලැබූ අතර, එය විසිපස් වැනිදා ඉවත්කර එදිනම යළි පනවනු ලැබීය.   


සංචරණ සීමා හෙට (07) දිනයේ ඉවත් කිරීමට රජය මුලින් තීරණය කර තිබුණ ද එය ලබන සඳුද‌ා (14) දක්වා දීර්ඝ කිරීමට පසුව තීරණය කළේය.   


එහෙත් එය ලබන විසිඑක් වැනිද‌ා දක්වා දීර්ඝ කරන්නැයි සෞඛ්‍ය අංශ යෝජනා කර ඇති බව දැනගන්නට ඇත.