තක්කාලි-ලූනු-සුදු ලූනු-ලීක්ස්-කැරට් ඇතුළු භාණ්ඩ 328 ක් රටින් ගෙන්න අවසර


උපුල් වික්‍රමසිංහ

ජූලි 20 වැනි දින සිට ක්‍රියාත්මක වෙන පරිදි, ආනයනය තහනම් කරන ලද භාණ්ඩ 328 ක ආනයන තහනම ඉවත් කිරීමට ආණ්ඩුව පියවර ගත්තේය.


ඒ අනුව මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අස්සනින් යුතුව පසුගිය ජූලි 20 දාතමින් නිකුත් කොට ඇති අදාළ ගැසට් නිවේදනයෙන් කාණ්ඩ කිහිපයකට අයත් භාණ්ඩවලට පනවා තිබූ ආනයන සීමා ඉවත් කර තිබේ.

එළවළු වර්ග රැසක ආනයන සීමා ඉවත් කර ඇති අතර තක්කාලි, ලූනු, සුදු ලූනු, ලීක්ස්, කැරට්, සලාද, බීට් රෑට්, පිපිඤ්‍ඤා, බෝංචි, හතු, වට්ටක්කා ආදිය ඊට අයත්ය.
අදාළ ගැසට් නිවේදනය අනුව කෙසෙල්, අන්නාසි, අලිගැටපේර, අඹ, ගස්ලබු, කොමඩු, ස්ට්‍රෝබෙරි, දූරියන් යනාදී පලතුරු වර්ග කිහිපයක් ද ආනයනය කිරීමට ඉඩ ලැබේ. 
ගොඩනැගිලි ද්‍රව්‍ය රැසකද ආනයන සීමා ඉවත් කර ඇති අතර මාබල්, වැලිගල්, ටයිල්, ග්‍රැනයිට්, කොඩි ගල්, ගඩොල්, දොරවල්, ජනේල සහ ඒවායේ ෆ්‍රේම් යනු ඒ අතරින් කිහිපයකි. මේ අතර රෑපලාවණ්‍ය ද්‍රව්‍ය කිහිපයක ආනයන සීමා ද ඉවත් කර ඇති අතර සුවඳ විලවුන්, තොල් සහ ඇස්වල ගාන රෑපලාවණ්‍ය ආලේපන, පවුඩර් ඒ අතර ප්‍රධාන වේ.
සූට් කේස්, ට්‍රන්ක් පෙට්ටි, බ්‍රීෆ් කේස්, ඇස් කණ්ණාඩි ආවරණ, කැමරා ආවරණ, ට්‍රැවලින් බෑග්, අත් බෑග්, ෂොපින් බෑග්, මුදල් පසුම්බි, අත්වැසුම්, බෙල්ට්, ගැහැනු පිරිමි නාන ඇඳුම්, කුඩ, උද්‍යානවල සවි කරන කුඩ, ප්ලාස්ටික් හෝ වෙනත් අමුද්‍රව්‍යවලින් සකසන ලද කෘත්‍රීම මල්, පලතුරු සහ ශාක පත්‍ර යනාදියෙහි ද ආනයන සීමා ඉවත් කර තිබේ.
නිවෙස්වල සහ ලොන්ඩරිවල භාවිතයට ගන්නා රෙදි සෝදන යන්ත්‍ර, පනා, කොණ්ඩ කටු, පොල් කෙඳි හෝ වෙනත් කෙඳි වර්ගවලින් සකසන ලද කොසු, දත් බුරැසු ආදියෙහි ද ආනයන සීමා ඉවත් කර ඇත.