ණය ප්‍රතිව්‍යුහගතකරණයට ඉදිරි මාස තුනේදී ගිවිසුම් ගත විය යුතුයි


- ආචාර්ය ඩබ්ලිව්. ඒ. විජේවර්ධන

උපුල් වික්‍රමසිංහ

ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළව පැරිස් සමාජය හා චීනයේ එක්සිම් බැංකුව සමග ඉදිරි මාස තුනක කාලයේදී අවසන් ගිවිසුම්වලට එළැඹීම අත්‍යවශ්‍ය බව ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ආචාර්ය ඩබ්ලිව්. ඒ. විජේවර්ධන මහතා ඉරිදා ලංකාදීපයට පැවසීය.

එසේ ගිවිසුම්ගත වූ පසු ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ණය හිමියන් සමග සාකච්ඡා කර එම ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ අවසන් ගිවිසුමට මේ වසරේ පළමු කාර්තුව ඇතුළත එළැඹිය යුතු බව ද ඒ මහතා සඳහන් කළේය.


චීනය ඔවුන්ගේ ණයවලින් කොටසක් කප්පාදු කිරීමට එකඟ වනු ඇතැයි සිතිය නොහැකි බව කී ආචාර්යවරයා ණය ගෙවීමට ලබා දෙන කාලය දීර්ඝ කිරීමක් පමණක් කරනු ඇතැයි ද පුරෝකථනය කළේය. සියලු ණය හිමියන් සියයට 25 කින් ණය කප්පාදු කිරීමට එකඟ වුවද නැවත ණය ගෙවීමට පටන් ගත් විට රටට දුෂ්කර තත්ත්වයකට මුහුණ දීමට සිදු වෙන බව ද හිටපු මහ බැංකු නියෝජ්‍ය අධිපතිවරයා කීවේය.


ණය සඳහා අය කරන පොලී අනුපාත අඩු කිරීමට වාණිජ ණය හිමියන් යෝජනා කළ ද ඊට මුදල් අමාත්‍යාංශය එකඟ නොවූ බැවින් වාණිජ ණය ප්‍රතිව්‍යුහගතකරණයෙන් අපේක්ෂා කරන සහනය කවරක්ද යන්න ගැන අමාත්‍යාංශය වාණිජ ණය හිමියන්ට දැනුම් දිය යුතු බව ද විජේවර්ධන මහතා කියා සිටියේය.