ණය ප්‍රතිව්‍යුහගතකරණය මේ වසරේ පළමු කාර්තුවේදී අවසන්


උපුල් වික්‍රමසිංහ

මේ වසරේ පළමුවැනි කාර්තුව අවසන් වෙන විට ණය ප්‍රතිව්‍යුහගතකරණය අවසන් කිරීමට හැකි වෙතැයි අපේක්ෂා කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ඉරිදා ලංකාදීපයට පැවසීය.

ඒ අනුව වසර මැදභාගයේ සිට ණය සේවාකරණය (ණය ගෙවීම) ආර්ථිකයට බලපෑමක් නොවෙන පරිදි ආරම්භ කිරීමට හැකි වනු ඇති බවට ද අමාත්‍යවරයා විශ්වාසය පළ කළේය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වැඩසටහනේ දෙවැනි සමාලෝචනය මේ වසරේ මාර්තු මස දෙවැනි සතියේදී ආරම්භ වීමට නියමිතව ඇති බැවින් ණය වැඩසටහනෙහි තුන්වැනි වාරිකය නිදහස් කිරීමට අදා‌ළ අනුමතය ලබා ගැනීමට ණය ප්‍රතිව්‍යුහගතකරණය අවසන් කර තිබීම වැදගත් බව ද අමාත්‍යවරයා කීවේය.


වාණිජ ණය යටතේ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර හිමියන්ගේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ සාකච්ඡා මේ වෙන විට පැවැත්වෙන බව කී ඒ මහතා ඔවුන් සමග මූලික එකඟතාවකට (In Principle Agreement) පැමිණි පසු එම ණය ගෙවීමට අදාළව රටට හිමි වෙන සහනය පිළිබඳ අවසන් එකඟතාවකට පැමිණීමට හැකි වෙනු ඇති බව ද සඳහන් කළේය.