ඩොලර් හිඟයට විසඳුම අහන්න මුදල් ලොක්කන් කැබ්නට්ටුව හමුවට


(අජන්ත කුමාර අගලකඩ)    රට තු

ළ මතුව ඇති ඩොලර් අර්බුදය විසඳීම සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව පැහැදිලි කර ගැනීම සඳහා මහ බැංකු අධිපතිවරයා සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා කැබිනට් මණ්ඩලයට කැඳවන්නැයි ඇමැතිවරුන් පිරිසක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කර ඇත.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් සඳුදා පැවැති සතියේ කැබිනට් රැස්වීමේදී ඇමැතිවරුන් පිරිස මෙම ඉල්ලීම කර ඇතැයි රජයේ ආරංචිමාර්ග සඳහන් කරයි. 


ඩොලර් හිඟය හේතුවෙන් ආර්ථිකයේ බරපතළ ගැටලු‍ රැසක් පැන නැගී ඇති බැවින් ඒ සඳහා වහා විසඳුමක් ලබා දෙන්නැයි ඇමැතිවරුන් එහිදී පෙන්වා දී ඇතැයි ද එම ආරංචිමාර්ග කියයි. 

 
ඩොලර් අර්බුදය විසඳීම සඳහා රජය ගන්නා ක්‍රියාමාර්ගය කුමක්දැයි ජනතාව දැනුවත් කළ යුතුව ඇති බවත්, ඊට පෙර මේ සම්බන්ධයෙන් ඇමැතිවරුන් දැනුවත්වීම වැදගත් බවත්, එම ඇමැතිවරුන් පෙන්වා දී ඇතැයි වාර්තා වේ.   


මේ අනුව, මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල යන මහත්වරුන් මේ සතියේ හෝ ලබන සතියේ කැබිනට් රැස්වීමට කැඳවීමට බොහෝදුරට ඇතැයි රජයේ ආරංචිමාර්ග සඳහන් කරයි.