ඩෙල්ටා කොරෝනා ආසාදිත විශාල පිරිසක් සමාජයේ?


(දයාසීලි ලියනගේ)  

ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත පුද්ගලයන් සංඛ්‍යාව 38 ක් බවට මේ වනවිට නිල වශයෙන් ප්‍රකාශයට පත් වී තිබුණත් මෙවැනි ආසාදිතයන් අතිවිශාල පිරිසක් සමාජගතව සිටීමේ දැඩි අවදානමක් පවතින බව වාර්තා වේ.  

දැනට මෙම රෝගීන් හඳුනාගනු ලබන්නේ පී.සී.ආර්. පරීක්ෂණවලට යොමු කරන අයගෙන් සැක සහිතව ලබාගත් නියැදි පරීක්ෂා කිරීමෙන් පමණක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් සොයිසා මහතා ඉරිදා ලංකාදීපයට පැවසීය  


පවතින තත්ත්වය යටතේ ඩෙල්ටා වයිරසය පැතිරී ඇති බවට බරපතළ සැකයක් පවතින අතර ඇල්ෆා වයිරසයට වඩා මෙම වයිරසය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතුව ඇතැයි ද වෛද්‍ය සොයිසා මහතා ප්‍රකාශ කළේය.  


ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පමණක් මෙම වයිරස් හඳුනා ගැනීමේ පරීක්ෂණ කටයුතු සිදුවන අතර එය ප්‍රමාණවත් නොවන නිසා රෝගීන් හඳුනා ගැනීමේ ක්‍රමවේදය මීට වඩා පුළුල් කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍යංශය පෙන්වා දී ඇතැයි ද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.