ඩෙල්ටා වේගයෙන් පැතිරෙනවා කොරෝනා රැලි ගැන සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි


(දයාසීලි ලියනගේ)   

නිරෝධායන නීති හරියාකාරව ක්‍රියාත්මක නොකිරීම නිසා කොරෝනා රැලි ඇතිවීම වැළැක්වීමට නොහැකි වනු ඇතැයි සෞඛ්‍ය අංශ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පෙන්වා දී ඇත.   

කොරෝනා වසංගතය කොයි තරම් කාලයක් පවතී ද යන්න පිළිබඳව පැහැදිලිව නිගමනය කළ නොහැකි තත්ත්වයක් පවතින බැවින් නිරෝධායන නීති සියලු අංශවලට හා සියලු දෙනාට සමානව ක්‍රියාත්මක විය යුතු බව පෙන්වා දී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා කීය.   


පොදු ප්‍රවාහනය පොදු වෙළෙඳ සැල් උද්ඝෝෂණ, විරෝධතා ආදිය සම්බන්ධයෙන් රටේ එක නීතියක් ක්‍රියාත්මක නොවන අතර පුද්ගලයන්ගෙන් පුද්ගලයන්ට නීතිය වෙනස්ව ක්‍රියාත්මක වන තත්ත්වයක් පවතින බවද වෛද්‍ය සොයිසා මහතා ප්‍රකාශ කළේය.   


දැනට ඩෙල්ටා වයිරසය රටපුරා පැතිරෙන ස්වරූපයක් පෙන්නුම් කරන අතර නව ප්‍ර​භේද හඳුනා ගැනීමට නොහැකි තත්ත්වයක් උදාවෙමින් පවතින බව ද ඔහු ප්‍රකාශ කළේය.   


වසංගත උවදුර යම් ප්‍රමාණයකට හෝ පාලනය කර ගැනීමට නම් නිරෝධායන පනත හරියාකාරව ක්‍රියාත්මක කිරීම, එන්නත හා සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම අනිවාර්ය වී ඇතැයිද ඔහු සඳහන් කරයි.