ඩෙංගු අධිඅවදානම් තත්ත්වයක්


ඉන්දික හේවාවිතාරණ

දිස්ත්‍රික්ක 14 ක ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළ යමින් තිබෙන බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙන අතර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස බල ප්‍රදේශ 44 ක ඩෙංගු අධිඅවදානම් තත්ත්වයෙන් පැතිර යන බවද පෙන්වා දෙයි.

මේ වසරේ ජනවාරි 01 වන දින සිට මේ මස 10 වන දින දක්වා කාලය තුළදී ඩෙංගු රෝගය නිසා පුද්ගල මරණ 44 ක් සිදුවී තිබෙන අතර මෙම මරණවලින් 05ක් සිදුවී තිබෙන්නේ මේ මස ගෙවීගිය දින 10 කාලය තුළදීය.


කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, ගාල්ල, හම්බන්තොට, මාතර, මන්නාරම, මඩකලු‍ව, කුරැනෑගල, පුත්තලම, මොනරාගල, රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්වලින් රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් තිබෙන අතර මේ මස 09 වැනි දිනෙන් අවසන් වූ 44 වැනි සතිය තුළදී ඩෙංගු රෝගීන් 1532ක් වාර්තා වී තිබේ. මේ වසරේ ජනවාරි 01-10 දක්වා කාලය සැලකීමෙහිදී ඩෙංගු රෝගීන් 70,607ක් වාර්තා වී තිබෙන අතර මේ මාසයේ 01-10 දින දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 2114 ක් වාර්තා වී තිබේ. 


පසුගිය මාසය තුළදී රෝගීන් 4010 ක් වාර්තා වී තිබෙන අතර සමස්ත රෝගීන් සැලකීමෙහිදී බස්නාහිර පළාතෙන් රෝගීන් 33,727ක් වාර්තා වී තිබේ. එය සමස්ත රෝගීන්ගේ ප්‍රතිශයක් ලෙස  සියයට 47.8 කි. මධ්‍යම පළාතෙන් රෝ‍ගීන් 8327 ක් වාර්තා වී තිබේ. එය ප්‍රතිශතයක් ලෙස 11.6 කි.


වයඹ පළාතෙන් රෝ‍ගීන් 5,844 ක් වාර්තා වේ. එය සමස්ත රෝගීන්ගේ ප්‍රතිශතයක් ලෙස 8.3 කි. සබරගමුව පළාතෙන් රෝගීන් 5,820 ක් වාර්තා වී තිබේ. එය ප්‍රතිශතයක් ලෙස 8.2 කි. මේ ආකාරයට සෑම පළාතකින්ම රෝගීන් වාර්තා වී ඇත.


දිස්ත්‍රික්ක වශයෙන් සැලකීමෙහිදී වැඩිම රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී තිබෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. එම දිස්ත්‍රික්කයෙන් රෝගීන් 14,944 ක් වාර්තා වී තිබේ. එය සමස්ත රෝගීන්ගේ ප්‍රතිශතයක් ලෙස 21.2 කි. ගම්පහ දිස්ත්‍රික්කයේ රෝගීන් 14,297 කි. ප්‍රතිශතය 20.3 කි. මහනුවර දිස්ත්‍රික්කයේ රෝගීන් 6,659 කි.