ඩීසල් සහනයක් නොදුන්නොත් බස් ගාස්තුවත් නගියි


(පද්මිණී මාතරගේ)  

රට පුරා පවතින 18,000 ක් වූ පෞද්ගලික බස්රථ සඳහා ආණ්ඩුව අනිවාර්යයෙන්ම ඩීසල් සහනාධාරයක් ලබා දිය යුතු බවත් එසේ සහනාධාරයක් ලබා නොදුනහොත් යළිත් බස් ගාස්තු වැඩිවීමක් කරා අකමැත්තෙන් වුවත් යාමට සිදුවන බවත් සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය රජයට අනතුරු අඟවයි.

ඩීසල් මිල ඉදිරි දින කිහිපය තුළ වැඩි වෙනවා නම්, එම මිල වැඩිවන දිනයේදීම ඩීසල් සහනාධාරයක් පෞද්ගලික බස් සඳහා ලබා දීමට යම්කිසි ක්‍රමවේදයක් දැන් සිටම සකස් කිරීමට ආණ්ඩුව පියවර ගත යුතුව තිබෙන බව එම වෘත්තීය සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා ඉරිදා ලංකාදීපයට පැවසීය.  
ඉදිරි දින කිහිපය තුළ ඩීසල් මිල මේ ආකාරයටම වැඩි වුවහොත් දිගින් දිගටම බස් ගාස්තු වැඩි කිරීම කළ නොහැකි බවත් එබැවින් අදාළ ඩීසල් සහනාධාරය පෞද්ගලික බස් රථ 18,000 ට ලබාදිය යුතුව ඇතැයි ද ඔහු දැඩිව අවධාරණය කළේය.