ඩීසල් මිල ඉහළ යාමෙන් බහුදින ධීවර යාත්‍රා 2,500 ක් ධීවර වරායවල ගැට ගහලා


ගුණසිංහ හේරත්

වැට් බද්ද හේතුවෙන්  ඩීසල් මිල ඉහළ යාම නිසා මුහුදු යාමට නොහැකිව බහුදින ධීවර යාත්‍රා 2,500 ක් රට පුරා පිහිටි ධීවර වරාය 22 ක ගැට ගසා තිබෙන බව සමස්ත ලංකා බහුදින ධීවර යාත්‍රා හිමියන්ගේ සංගමයේ භාණ්ඩාගාරික සුනිල් ප්‍රනාන්දු මහතා හෙළි කරයි.

තම සංගමයේ සාමාජිකයන් අල්ලන මාළුවලින් වැඩි ප්‍රමාණයක් පිට රටවලට අපනයනය කරන නිසා බහුදින ධීවර යාත්‍රාවලට මුහුදු යාමට නොහැකි වීමෙන් මාළු අපනයනයෙන් රටට ලැබෙන විදේශ විනිමය ප්‍රමාණය ද අඩු වන බව ප්‍රනාන්දු මහතා පෙන්වා දෙයි. 


මුහුදු මාළු අපනයනය කිරීමෙන් දැනට අවුරුද්දකට ඇමෙරිකන් ඩොලර් මිලියන 400 කට ආසන්න මුදලක් රටට ලැබුණත් පවතින තත්ත්වය මත ඒ විදේශ විනිමය ආදායම ක්‍රමයෙන් පහත වැටෙන බව ද ප්‍රනාන්දු මහතා පෙන්වා දෙයි. 


ඩීසල් මිල ඉහළ යාමට අමතරව ධීවර ආම්පන්න මිල ඉහළ යාමත් ධීවරයන් මුහුදු යද්දී රැගෙන යන ආහාර ද්‍රව්‍ය මිල තුන් ගුණයකින් පමණ ඉහළ ගොස් තිබීමත් හේතුවෙන් මාළු ඇල්ලීමට මුහුදු යාමට වැය වන මුදල් ප්‍රමාණය සියයට 200 කින් පමණ වැඩි වී තිබෙන බව ද ප්‍රනාන්දු මහතා පෙන්වා දෙයි. 
2000 වසරේදී රුපියල් 105 ක් වූ ඩීසල් ලීටරයක මිල දැන් රුපියල් 358 ක් වන බව පෙන්වා දෙන ප්‍රනාන්දු මහතා ධීවර යාත්‍රා මිලදී ගැනීමට ගන්නා බැංකු ණය පොලිය ද සියයට හයේ සිට 28 දක්වා ඉහළ ගොස් තිබෙන බව ද කියයි.


ධීවරයන් මෙතරම් ප්‍රශ්න ගොඩක වෙලී පැටලී සිටියත් ධීවර අමාත්‍යවරයා සහ ධීවර අමාත්‍යාංශය ධීවරයන් පෙළෙන ඒ ප්‍රශ්නවලට පිළියම් යෙදීමට   කිසිම උත්සාහයක් නොගැනීම කනගාටුවට කරුණක් බවද බහුදින ධීවර යාත්‍රා හිමියන්ගේ සංගමයේ භාණ්ඩාගාරික මහතා සඳහන් කරයි.