ඥානසාර හිමි නිදහස් කරන්නැයි අභියාචනාධිකරණයට ඇපෑලක්


මනෝප්‍රිය ගුණසේකර


ජාතික හා ආගමික සංහිඳියාවට හානි කිරීමේ චෝදනාවන්ට ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වරදකරු කරමින් කොළඹ මහාධිකරණය දුන් නියෝගය ප්‍රතිශෝධනය කර උන්වහන්සේ නිදොස් කොට නිදහස් කරන්නැයි ඉල්ලමින් ඥානසාර හිමියන්ගේ නීතිඥවරු අභියාචනාධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කළහ.

භික්ෂුවක් වශයෙන් ජාතික ආගමික සහජීවනයට හානි වන ආකාරයේ හැසිරීමක් නොකළ යුතු බවටත්, මෙවැනි ප්‍රකාශවලින් රට තුළ ජාතික ආගමික භේද ඇතිවිය හැකි බවටත් අවධාරණය කරමින් කොළඹ මහාධිකරණ විනිසුරැ ආදිත්‍ය පටබැඳිගේ මහතා ඥානසාර හිමියන්ට පැනවූ වසර හතරක බරපතළ වැඩ සහිත සිරදඬුවම සහ රැපියල් ලක්‍ෂයක දඩ මුදලද ඉවත දමන්නැයි ඥානසාර හිමියන්ගේ නීතිඥවරැන් අභියාචනාධිකරණයෙන් ඉල්ලීමක් කර ඇත.
හිටපු ආණ්ඩුකාර අසාද් සාලි සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමන් විසින් රහස් පොලීසියට පමිණීල්ලක් කරමින් ගලගොඩත්තේ ඥානසාර හිමියන් මාධ්‍ය සාකච්ඡාවකදී කූරගල විහාරස්ථානය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයකින් ජාතීන් හා ආගමික සංහිඳියාවට හානි කළ බව සඳහන් කර තිබූ අතර, ඒ අනුව කළ විමර්ශනයකින් අනතුරැව ඥානසාර හිමියන්ට එරෙහිව නඩු පවරන ලදි.
එම නඩුව විභාගයේ අවසන් අවස්ථාවකදී ඥානසාර හිමියන් අධිකරණය අමතමින් තමා කළ ප්‍රකාශයෙන් යම් සිත් රිදවීමක් වූයේ නම් මුස්ලිම් ජනතාවට ඒ සම්බන්ධයෙන් කණගාටුවද පළ කරන බවද පැවසූහ.