ජාතික ඖෂධ නියාමන අධිකාරී පනත සංශෝධනයට


අංජුල මහික වීරරත්න

ඖෂධ හිඟය වහාම පියවීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරි පනත (NMRA) සංශෝධනයට අදාළ යෝජනා කඩිනමින් ඉදිරිපත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් දුන්නේය.

එක්සත් ජනපද ආහාර හා ඖෂධ පරිපාලනය (FDA) විසින් අනුමත කර ඇති ඖෂධ සඳහා මෙරටදී යළි සිදු කරන අනුමත කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කරන ලෙස ද ජනාධිපතිවරයා බලධාරීන්ට දැනුම් දුන්නේය.


එක්සත් ජනපද ආහාර හා ඖෂධ පරිපාලනය (FDA)  හා එක්සත් රාජධානිය (UK) අනුමත කර ඇති ඖෂධ තවදුරටත් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) ක්‍රියාවලිය හරහා ඇනවුම් කිරීම වෙනුවට  සෘජුවම ඇනවුම් කිරීමට ඇති හැකියාව සොයා බලන ලෙස ද  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ ගැටළු පිළිබඳ  සිකුරාදා (14) ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදීය. 
ජනතාවට ඖෂධ ලබා ගැනීමේදී ප්‍රමාදයක් සිදු නොවන බවට සෞඛ්‍ය අමාත්‍යාංශය සහතික විය යුතු බවත් මෙරට ඇති සියලු‍ ඖෂධ පිළිබඳ විනිවිදභාවයක් අවශ්‍ය බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී අවධාරණය කළේය.


සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පවත්වාගෙන යනු ලබන විශේෂ වෙබ් අඩවියක් මගින් දිනපතා සෑම රෝහලක්ම සතු ඖෂධ ප්‍රමාණය සහ දිනකට ලබාගත හැකි මුළු ඖෂධ ප්‍රමාණය පිළිබඳ දත්ත ලබා දිය යුතු බව පැවසු ජනාධිපතිවරයා මෙම ජාලගත ක්‍රියාවලිය මගින් රෝහල් අතර ඖෂධ හුවමාරු කර ගැනීමටද අවස්ථාව උදාවෙන බව පෙන්වා දුන්නේය.
හෙද හෙදියන් බඳවා ගැනීමේදී කලා විෂය ධාරාව හැදෑරු අය හෙද පුහුණුව සඳහා බඳවා ගැනීමට හැකිවෙන ලෙස  රෙගුලාසි සංශෝධනය කළ යුතු බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.


සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් එස්.ජේ.එස්. චන්ද්‍රගුප්තා, නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම් ආර්.එම්.පී. රත්නායක යන මහත්වරු සහ රේඛීය රාජ්‍ය ආයතනවල ප්‍රධානීහුද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.