ජාතික ආරක්ෂාවට තර්ජනයක් - අවබෝධතා ගිවිසුම් 1000 ක් නැවත සමාලෝචනයට


උපුල් වික්‍රමසිංහ

විශ්වවිද්‍යාල ඇතුළු විවිධ ආයතන වෙනත් රටවල් සමග අස්සන් කර ඇති අවබෝධතා ගිවිසුම්වලින් (MOUs) රටේ ජාතික ආරක්ෂාවට හා ස්වාධීනත්වයට අහිතකර බලපෑම් සිදුවෙන්නේ ද යන්න ගැන අධ්‍යයනය කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය තීරණය කර ඇති අතර ඒ වෙනුවෙන් ආරක්ෂක හා විදේශ කටයුතු අමාත්‍යාංශවලින් සැදුම්ලත් කමිටුවක් ද පත්කර තිබේ.

ඒ යටතේ විශ්වවිද්‍යාල හා ඇතැම් පර්යේෂණ ආයතන විසින් වෙනත් රටවල් සමග අස්සන් කරනු ලැබ ඇති අවබෝධතා ගිවිසුම්වල අන්තර්ගතය අදාළ කමිටුව මගින් නැවත සමාලෝචනය කෙරෙන අතර ජාතික ආරක්ෂාවට තර්ජනයක් වෙන අවබෝධතා ගිවිසුම් සම්බන්ධයෙන් තීරණ ගැනීමේ බලය ද කමිටුවට පවරා තිබේ.
ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ඉරිදා ලංකාදීපයට පැවසුවේ එවැනි ගිවිසුම් දහසකට වැඩි සංඛ්‍යාවක් පවතින බවත්, වෙනත් රටවල් හෝ විදෙස් ආයතන සමග අවබෝධතා ගිවිසුම් අස්සන් කිරීමේ දී පිළිපැදිය යුතු උපදෙස් ඇතුළත් චක්‍රලේඛයක් නිකුත් කර ඇතත් ඇතැම් අවබෝධතා ගිවිසුම් එම උපදෙස්වලට පරිබාහිරව අස්සන් කර ඇති බැවින් ඒවා මෙලෙස නැවත සමාලෝචනය කරන බවත්ය.