ජලය අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්න - ජල මණ්ඩලය ඉල්ලයි


නිමල කොඩිතුවක්කු

රටපුරා පවතින උණුසුම් කාලගුණ තත්ත්වයත් සමග ජල පරිභෝජනය විශාල ලෙස ඉහළ ගොස් ඇතැයි ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (සංවර්ධන) අනෝජා කළුආරච්චි මහත්මිය පැවසුවාය.

මේ හේතුවෙන් අත්‍යවශ්‍ය නොවන කටයුතු සඳහා ජලය පාවිච්චි කිරීමෙන් වැළකී අත්‍යාවශ්‍ය කටයුතු සඳහා පමණක් ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන්නැයි ජනතාවගෙන් ඉල්ලීමක් කරන බවත් කළුආරච්චි මහත්මිය සඳහන් කළාය. වියළි කාලගුණය හේතුවෙන් ජල සම්පාදන ක්‍රම 6ක මුර ක්‍රමයට ජලය සැපයීමට පියවර ගෙන ඇති බවත් ඇය පැවසුවාය.


මෙයට අමතරව ජල සම්පාදන ක්‍රම 15ක ජල සැපයුමට බාධා එල්ල වී ඇති බවත් කළමනාකරණය කරමින් එම ප්‍රදේශවලට ජලය නිකුත් කරන බවත් කළුආරච්චි මහත්මිය සඳහන් කළාය.


මෙයට අමතරව වෙනත් ජල සම්පාදන ක්‍රම සඳහා ජල සැපයුම සීමා කිරීමට හෝ අත් හිටුවීමට කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති වුවත් ජල පරිභෝජනය ඉහළ යාම හේතුවෙන් උස් ප්‍රදේශවලට දිවා කාලයේ දී ජල සැපයුම අඩාළ වීම හෝ නොලැබී යාම සිදුවිය  හැකි බවත් ඇය සඳහන් කළාය.


වියළි කාලගුණ තත්ත්වය අඛණ්ඩව මැයි මාසය පමණ වන තෙක් පවතින්නේ නම් බොහෝ ප්‍රදේශවලට ජලය මුර ක්‍රමයට ලබාදීමට සිදුවන බවත් කළුආරච්චි මහත්මිය සඳහන් කළාය. අවශ්‍ය නම්  ජල බවුසර යොදාගෙන ජලය බෙදා හැරීමට හැකියාව පවතින බවත්, ඒ සඳහා බවුසර් 150 ක් සූදානමින් පවතින බවත් ඇය සඳහන් කළාය. ජලය සැපයීමේ දී යම් ගැටලුවක් මතුවුව හොත් 1939ට දැනුම් දීමක් සිදුකරන ලෙස ඉල්ලීමක් කරන බවත් කළුආරච්චි මහත්මිය තවදුරටත් කීවාය.