ජල සම්පාදනයේ වාහන 228 ක් අතුරුදන් - විගණන වාර්තාවක් කියයි


සුජිත් හේවාජුලිගේ

ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ වාහන 228ක් පිළිබඳව කිසිදු තොරතුරක් නැතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. මෙම සියලු‍ම වාහන ලියාපදිංචි කර ඇත්තේ ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය නමිනි.

මණ්ඩලය පවත්වාගෙන යන වාහන දත්ත ගබඩාවේ ද මේ පිළිබඳ තොරතුරු කිසිවක් ඇතුළත් නොවන බව විගණන වාර්තාවේ දැක්වේ. මේ අතර මණ්ඩලය බාහිර ආයතනවල තැන්පත් කර තිබූ ආපසු ගෙවිය යුතු කෙටිකාලීන තැන්පතු වසර තුනක් තිස්සේ අය කර ගැනීමෙන් තොරව හිඟව පැවතුණ බව විගණන වාර්තාව කියයි.


ඒවායින් ද කෝටියකට වැඩි මුදලක් අදාළ ලේඛන නොපැවතීම හේතුවෙන් අයකර ගැනීමට නොහැකිව තිබූ බව පවසන එම වාර්තාව රේඛීය  අමාත්‍යංශයට දුන්  රුපියල් ලක්ෂ 43 කට වැඩි අත්තිකාරම් මුදල වසර නවයක් තිස්සේ අයකර ගැනීමෙන් තොරව හිඟව පැවතුණ බවද සඳහන් කරයි.


මේ තොරතුරු සඳහන් වන්නේ ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ 2020 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තා වේ ය.