ජපානය ආධාර දුන් සංවර්ධන වැඩ යළි ඇරඹෙයි


අංජුල මහික වීරරත්න

ජපාන ආධාර යටතේ ආරම්භ කර අතරමග නැවතී ඇති සංවර්ධන ව්‍යාපෘති කඩිනමින් ඇරඹීමට අවධානය යොමු කරන බව ජපාන මුදල් අමාත්‍ය සුසුකි ෂුනිචි මහතා පැවසීය.

ශ්‍රී ලංකා ආර්ථිකය කැපී පෙනෙන ප්‍රගතියක් ලබා ඇති අතර ජනපතිගේ නිවැරදි ආර්ථික වැඩපිළිවෙළ එම ප්‍රගතියට හේතු ව බවද ජපාන මුදල් අමාත්‍යවරයා පැවසුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේ දී  සිකුරාදා (11) හමු වූ අවස්ථාවේදීය.


මෙරට දළ දේශීය නිෂ්පාදිතයේ දර්ශක සහ උද්ධමන දර්ශකවල ධනාත්මක ප්‍රවණතාවට හේතු වූයේ වූයේ ජනාධිපතිවරයාගේ ආර්ථික වැඩපිළිවෙළ බවද ඔහු කීවේය. 
දෙරට අතර ආර්ථික සබඳතා පුළුල් කර ගැනීමේ අරමුණින් ජපාන මුදල් අමාත්‍යවරයා මෙරට දෙදින නිල සංචාරයක නිරතව සිටියි.


කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ප්‍රතිසංවර්ධනය කිරීම සහ ජපන් ආධාර යටතේ ක්‍රියාත්මකව අතරමග නැවතී ඇති සංවර්ධන ව්‍යාපෘති කඩිනමින් යළි ආරම්භ කිරීම පිළිබඳව ද ණය ප්‍රශස්තකරණයෙහි සාර්ථකත්වය පිළිබඳවද සාකච්ඡා කෙරිණ.


ශ්‍රී ලංකාවේ ණය අර්බුදය හේතුවෙන් යෙන් මුදල් ඒකකයෙන් ලබා දී තිබූ ණය අත්හිටුවීම පිළිබඳ සඳහන් කළ ජපාන මුදල් අමාත්‍ය සුසුකි ෂුනිචි මහතා නිල ණය හිමියන්ගේ කමිටුව සමඟ යෝජිත අවබෝධතා ගිවිසුමට එළැඹීමෙන් පසුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් අධීක්ෂණය කරනු ලබන ණය තිරසරභාවය ප්‍රකාශ කිරීමෙන් අනතුරැව එම ණය මුදල් නැවත ලබාදීමේ හැකියාව පවතින බව සඳහන් කළේය.