ජනාධිපතිවරණය ලබන වසරේ මුල


ජනපති කොමිසමෙන් වියදම් වාර්තාව ඉල්ලයි

අංජුල මහික වීරරත්න

ජනාධිපතිවරණය ලබන වසරේ මුල පවත්වනු ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි. ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා කොපමණ මුදල් ප්‍රතිපාදන අවශ්‍යදැයි ගණනය කොට තමාට වහාම දැනුම් දෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මැතිවරණ කොමිසමට දැනුම් දීමක් ද කර තිබේ.

මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.එල්. රත්නායක මහතා  ඇතුළු කොමිසමේ නිලධාරීන් ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවූ ජනාධිපතිවරයා පවසා ඇත්තේ  ජනපතිවරණයට වැයවෙන මුදල් ප්‍රතිපාදන ඉදිරි අයවැය ලේඛනයට ඇතුළත් කර මුදල් වෙන් කර ගත යුතුව ඇති බවයි.


ජනාධිපතිවරණය සඳහා වැයවෙන මුදල් ප්‍රතිපාදන සම්බන්ධයෙන් වාර්තාවක් කඩිනමින් මුදල් අමාත්‍යංශයට යොමු කරන ලෙස උපදෙස් දුන් ජනාධිපතිවරයා අදාළ මූල්‍ය ප්‍රතිපාදන  සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශය සමගද සාකච්ඡා කරන ලෙස මැතිවරණ කොමිසමට දැනුම් දී ඇත.


ඉදිරි ජනාධිපතිවරණය සඳහා වැයවෙන මුදල් සම්බන්ධයෙන් අදාළ ඇස්තමේන්තු සකස් කොට ඉක්මනින්ම මුදල්  අමාත්‍යාංශයට ලබාදෙන බව එහිදී මැතිවරණ කොමිසම ජනාධිපතිවරයාට දැනුම්දී තිබේ.