ජනාධිපතිවරණය කිසිවෙකුට කල් දාන්න බෑ


පද්මිණි මාතරගේ

රටේ ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරණය කල් දැමීමට කිසිවෙකුට නොහැකි බවත්, එම ඡන්දය පැවැත්විය යුතු බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා “ඉරිදා ලංකාදීපයට“ පැවසීය.

වත්මන් ජනාධිපතිවරයාගේ ධුර කාලය මේ අවුරුද්දේ නොවැම්බර් 18 වෙනිදා වන විට අවසන් බවත්, ඒ නිසා ඊට පෙර අනිවාර්යෙන්ම ජනාධිපතිවරයෙකු මහජන ඡන්දයෙන් තෝරා පත්කර ගත යුතුව තිබෙන බව ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ ය.


ජාතික ජන බලවේගයේ ජයග්‍රහනය නියත බව දැඩිව අවධාරණය කළ ඒ මහතා, පරාජයට පත් වෙනවාට අකැමැති, බලය අත්හැරීමට අකැමැති බලවේග විවිධ ප්‍රවෘත්ති හදමින් ජනාධිපතිවරණය මඟ හැර යාමට ක්‍රම සොයමින් සිටින බව ද කීය.


සමහරු ව්‍යවස්ථාව වෙනස්කර විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට කලබලයේ කතා කරන බවත්, ඇතැමුන් ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණය පවත්වන්නට කතා කරන බවත් මේ සියල්ලෙන් පෙනී යන්නේ බලයේ සිටින කණ්ඩායම් ජනාධිපතිවරණයට ඇති බිය බවත් ඔහු කීය. 


ආණ්ඩුව කුමන හෝ උප්පරවැට්ටියක් දමා ව්‍යවස්ථා විරෝධී වැඩ කිරීමට උත්සහ දැරුවහොත්  එම උත්සාහය මුළුමනින්ම පරාජය කිරීමට ජනතාව සමඟ එක්ව සටන් කරන බව ද පැවසූ ඒ මහතා මෙම ඡන්දය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් යැයි ද පැවසීය.


ජනාධිපතිවරණයෙන් “මාලිමාව“ සුවිශාල ජයග්‍රහනයක් ලබන බවට විශාල විශ්වාසයක් පවතින බවත්, සමාජයේ සියලු‍ සමීක්ෂණවලින් එය ඔප්පු වී තිබෙන බවත් ඔහු සඳහන් කළේය.


ඉතිහාසයේ පළමුවැනි වතාවට ජනතාවගේ පාලනයක්, රට ගොඩ නඟන පාලනයක්, රටේ ජාතික පුනර්ජිවනයක් නිර්මාණය කිරීම අරමුණු කරගනිමින් ජාතික ජන බලවේගය කටයුතු කරන බවත්, වංගු ගසා ඡන්ද කල් දැමීමේ උප්පරවැට්ටි දැමීමට කිසිවෙකුට ඉඩ නොදෙන බවත් ඔහු පැවසීය.