ජනාධිපතිවරණ අපේක්ෂක ඇප මුදල් ඉහළට


අජන්ත කුමාර අගලකඩ

ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් තැන්පත් කළ යුතු ඇප මුදල රු. ලක්ෂ 26 දක්වා වැඩි කිරීමට රජය යෝජනා කර ඇත. පිළිගත් දේශපාලන පක්ෂයකින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයකු දැනට තැන්පත් කළ යුතු රු.50,000ක ඇප මුදල රු. ලක්ෂ 26 දක්වා ද, ස්වාධීන අපේක්ෂකයකු තැන්පත් කළ යුතු රු.75,000ක ඇප මුදල රු. ලක්ෂ 31 දක්වා ද වැඩි කිරීමට රජය යෝජනා කර ඇත.

පිළිගත් දේශපාලන පක්ෂයකින් ඉදිරිපත් වන ජනාධිපති අපේක්ෂකයකු තැන්පත් කළ යුතු බවට යෝජනා කර ඇති රු. ලක්ෂ 26 ක මුදලින් රු. ලක්ෂ 25ක් ආපසු ගෙවන මුදලක් ලෙස ද ඉතිරි රු. ලක්ෂය ආපසු නොගෙවන ඇප මුදලක් ලෙස ද තැන්පත් කිරීමට යෝජනා කර තිබේ.


මේ අතර ස්වාධීන අපේක්ෂකයකු තැන්පත් කළ යුතු බවට යෝජනා කර ඇති රු. ලක්ෂ තිස් එකක මුදලින් රු. ලක්ෂ 30 ක් ආපසු ගෙවන ඇප මුදලක් ලෙස ද, ඉතිරි රු. ලක්ෂයක මුදල ආපසු නොගෙවන ඇප මුදලක් ලෙස ද තැන්පත් කිරීමට යෝජනා කර තිබේ. මේ අතර  ,පාර්ලිමේන්තු, පළාත් සභා සහ පළාත් පාලන ආයතනවල අපේක්ෂකයන්  තැන්පත් කළ යුතු ඇප මුදල ද ඉහළ දැමීමට යෝජනා කර ඇත.
ඒ අනුව, පිළිගත් දේශපාලන පක්ෂයකින් ඉදිරිපත් වන අපේක්ෂකයන් සඳහා ඇප මුදල් තැන්පත් කිරීමක් දැනට නොකෙරෙන අතර, පාර්ලිමේන්තු මැතිවරණයට පිළිගත් දේශපාලන පක්ෂයකින් ඉදිරිපත් වන අපේක්ෂකයන් රු. 10,000ක මුදලක් ද, පළාත් සභාවට ඉදිරිපත් වන අපේක්ෂකයකු රු. 5000ක මුදලක් සහ පළාත් පාලන  මැතිවරණයට  ඉදිරිපත් වන අපේක්ෂකයකු  රු. 2000 ක මුදලක් ද ඇප මුදල් ලෙස තැන්පත් කළ යුතු බවට යෝජනා කර ඇත.


මේ අතර, ස්වාධීන අපේක්ෂකයකු මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වීමේදී තැන්පත් කරන රු. 5000 ක ඇප මුදල රු. 15,000 දක්වා ද පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වන  අපේක්ෂකයකු තැන්පත් කළ යුතු රු. 2000ක ඇප  මුදල රු. 10,000 දක්වා ද, පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු ඇප මුදල රු. 5000 දක්වා ද වැඩි කිරීමට යෝජනා කර තිබේ.


නව මැතිවරණ ක්‍රමයක් හඳුන්වාදීම සඳහා, අධිකරණ, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා ව්‍යවස්ථා කටයුතු අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද, පනත් කෙටුම්පතින් මෙම ඇප මුදල් වැඩි කිරීම යෝජනා කර ඇත.