ජනාධිපති පදවිප්‍රාප්ති උත්සව තහනම්


අංජුල මහික වීරරත්න

ජනාධිපති ධුරයට පත්වී වසරක් සම්පූර්ණවීම වෙනුවෙන් කිසිදු පදවිප්‍රාප්ත උත්සවයක් සංවිධානය නොකරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම උපදෙස් දෙනු ලැබුවේ ජනාධිපති පදවිප්‍රප්තිය වෙනුවෙන් උත්සව සංවිධානය කිරීම ගැන විවිධ පාර්ශ්ව වලින් කෙරුණු ඉල්ලීම් සැලකිල්ලට ගෙනය.


රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්ව ලබන 20 දාට වර්ෂයක් සම්පූර්ණ වේ. 2022 ජූලි මස 20 දින පාර්ලිමේන්තුවේ ඡන්ද 134 ක් ලබා ගනිමින් රනිල් වික්‍රමසිංහ මහතා අනුප්‍රාප්තික ජනාධිපති ලෙස පත්වූ අතර එදිනට පසු දින එනම් ජූලි 21 වැනිදා රනිල් වික්‍රමසිංහ  මහතා පාර්ලිමේන්තුවේදී අට වැනි ජනාධිපති ලෙස දිවුරුම් දුන්නේය. 
ගෑස් පෝලිම්, ඉන්ධන පෝලිම් ඇතුළුව රට අරාජිකත්වයට පත්ව තිබූ මොහොතක රට බාරගෙන මේ වන විට තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් කොට රට සාමාන්‍යකරණයකට පත් කර තිබෙන හෙයින් පදවිප්‍රාප්ති උත්සව සංවිධානය කළ යුතු යැයි රජයට හිතවත් පාර්ශ්ව කරුණු දක්වා තිබේ.


ඊට ප්‍රතිචාර දක්වමින් ජනාධිපතිවරයා  කිසිදු මහජන මුදලක් හෝ පෞද්ගලික මුදලක් වැය කොට පදවිප්‍රප්ත උත්සව පැවැත්විය යුතු නැතැයි නියෝග කොට ඇත. පදවිප්‍රාප්ත දිනයේම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ නිල සංචාරයක නිරතවීම ද විශේෂත්වයකි.