ජනපති රොෂාන්ගෙන් නිදහසට කරුණු විමසයි


අංජුල මහික වීරරත්න

කැබිනට් මණ්ඩලය සාමූහිකව ගත් තීරණයකට පරිබාහිරව අදහස් ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් ක්‍රීඩා, යෞවන කටයුතු හා වාරිමාර්ග අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගෙන් නිදහසට කරුණු විමසීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ.

ඒ අනුව ජනාධිපති කාර්යාලයට සඳුදා (6) පැමිණ නිදහසට කරුණු දක්වන්නැයි අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාට දැනුම් දී තිබේ.
උඩවලව ජලාශය යටතේ වගාකළ වගා බිම් සඳහා ජලය නිකුත් කළ හොත් දකුණු පළාත ඇතුළු දිස්ත්‍රික්ක පහකට විදුලිය කප්පාදු කිරීමට සිදුවෙන හෙයින් අඛණ්ඩව විදුලිබල සැපයුම තහවුරු කිරීමටත්  වලව වගා බිම් සඳහා මොනරාගල සිට ජලය ගෙන ඒමටත් කැබිනට් මණ්ඩලය ගෙන තිබූ තීරණයට පිටින් ප්‍රසිද්ධ මාධ්‍ය හමුවකදී  වෙනත් මතයක් පළ කිරීම නිසා රොෂාන් රණසිංහ අමාත්‍යවරයාගෙන් මෙලෙස නිදහසට කරුණු විමසීමට තීරණය කර තිබේ.


උඩවලව ජලාශයෙන් පෝෂණය වෙන වගා බිම් වලට යම් හානියක් සිදුවුවහොත් ඒ සඳහා වන්දි පිරිනැමීමටද කැබිනට්  මණ්ඩලයේ දී එකඟතාවයට එළැඹ තිබිණි. ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය සංවිධාන කළ අදාළ මාධ්‍ය හමුවකදී  රොෂාන් රණසිංහ අමාත්‍යවරයා  පවසා තිබූයේ උඩවලව ජලාශය යටතේ වගාකළ ගොවිබිම් සඳහා ජලය ලබා නොදීම ගොවි පුතෙක් ලෙස තමාට බලා සිටින්නට නොහැකි බවයි.


මොනරාගල සිට ජලය ගෙනවිත් ප්‍රශ්න විසඳන්නට බැරි බවත් වලවේ ගොවිබිම් සඳහා ජලය දිය යුතු බවත් රොෂාන් රණසිංහ අමාත්‍යවරයා එහිදී පවසා තිබිණි.
දිස්ත්‍රික්ක පහකට අඛණ්ඩව විදුලිය ලබාදීම වෙනුවෙන් ජලය නිකුත් කිරීමට කැබිනට් මණ්ඩලය ගත් සාමූහික තීරණයට විරුද්ධව වෙනත් මතයක් මෙලෙස ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් රොෂාන් රණසිංහ  අමාත්‍යවරයාගෙන් නිදහසට කරුණු විමසීමට ජනාධිපතිවරයා තීරණය කර ඇතැයි ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.