ජනපති - මන්ත්‍රී විශ්‍රාමයට සීමා වැටෙන පනත ලබන වසර මුල


(සුජිත් හේවාජුලිගේ)  

ජනාධිපතිවරයාට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුප හිමිවන කාලය වසර දහය දක්වා දීර්ඝ කිරීමට අදාළ සංශෝධන පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුවට ලබන වසර මුල ඉදිරිපත් කෙරෙනු ඇතැයි රජයේ අාරංචි මාර්ග සඳහන් කරයි.

ජනපතිවරයාට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුප හිමිවන කාලය වසර 10ක් දක්වා දීර්ඝ කිරීම සඳහා වූ යෝජනාවක් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් ලබන වසර (2022) සඳහා වන රජයේ අයවැය යෝජනාවලියට ඇතුළත් කර පාර්ලිමේන්තුවට පසුගියදා ඉදිරිපත් කරනු ලැබීය.  


මේ සම්බන්ධයෙන් අප අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතාගෙන් කළ විමසුමක දී ඔහු පැවසුවේ මෙම අයවැය යෝජනාව ක්‍රියාත්මක කිරීමට නම් අනිවාර්යෙන්ම එම විශ්‍රාම වැටුප් පිළිබඳ පනත් සංශෝධනයට ලක් කළ යුතු වන බවය.  


ඊට ප්‍රථම එම පනත් කෙටුම්පත් කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා ගත යුතු වන අතර කැබිනට් මණ්ඩලයේ අනුමැතිය එසේ ලබා ගැනීම ද ලබන මාසයේ දී සිදු කෙරෙනු ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.  


මේ අතර විශ්‍රාම වැටුප හිමිවන කාලය වසර දහයක් දක්වා දීර්ඝ කිරීමට සූදානම් වීම ගැන පාර්ලිමේන්තුවේ පසු පෙළ ඇතැම් මන්ත්‍රීවරුන්ගේ අප්‍රසාදය පළ වී ඇතැයි දැනගන්නට ඇත.  


මේ සම්බන්ධයෙන් එම මන්ත්‍රීවරුන් රජයේ බලධාරීන්ට දැනටමත් සිය දුක් ගැනවිලි ඉදිරිපත් කර ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.