ජනතාවගේ උගුරු දණ්ඩ මිරිකන ජල පනතක් ?


පද්මිණි මාතරගේ

ජනතාවගේ උගුරු දණ්ඩ මිරිකන ජල පනතක් ගෙන ඒමට ආණ්ඩුව පිඹුරුපත් සකසමින් සිටින බවත්, මෙම ජනතා විරෝධී ජල පනත කිසිසේත් සම්මත කිරීමට ඉඩ නොදෙන බවත් ජීවයේ අයිතිය පරිසර සංවිධානයේ කැඳවුම්කරු, ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී  සමන්ත විද්‍යාරත්න මහතා ඉරිදා ලංකාදීපයට පැවසීය.

වත්මන් ආණ්ඩුව ජල වෙළෙඳපොළ සංකල්පය යටතේ, ජලය විකුණා දැමීමේ සූදානමක් පවතින බවත් දැනටත් බොන වතුරට මිලක් අයකරන අතර, ඉදිරියට වගා ජලයටද මිලක් නියම විය හැකි බව ද ඔහු පෙන්වා දෙයි.


රටේ ජලය පෞද්ගලීකරණය කිරීමට ගත් උත්සාහයට දීර්ඝ ඉතිහාසයක් තිබෙන බව පෙන්වා දෙන ඒ මහතා, 2001 රනිල් වික්‍රමසිංහ පාලනයේදීත්, චන්ද්‍රිකා කුමාරණතුංග පාලනයේදිත් මෙම උත්සාහය පැවති අතර ජනතා උද්ඝෝෂණ හමුවේ ඒවා යටපත් වූ බවත්, වර්තමාන ආණ්ඩුව එය නැවත ඉදිරියට ගෙනැවිත් තිබෙන බවත් කීය.
ප්‍රතිව්‍යුහකරණය, කළමනාකරණය මේ ආදි අලුත් නම් යොදමින් රටේ සම්පත් පෞද්ගලීකරණය කිරීමේ සැලසුම් ගෙන එන බවත් නව ජල කළමනාකරණ පනතක් සකස් කරන්නට අවශ්‍ය බව පවසමින්, ආණ්ඩුවේ පළමුවැනි කැබිනට් පත්‍රිකාව 2020 වර්ෂයේ දී ඉදිරිපත් කළ බවත් මන්ත්‍රීවරයා පැවසීය. 


මෙයට අදාළ දෙවැනි කැබිනට් පත්‍රිකාව මහින්ද රාජපක්ෂ, වාසුදේව නානායක්කාර මහත්වරුන් ඒකාබද්ධව අත්සන් තැබු බවත්, ජල කළමනාකරණය සම්බන්ධව පනතක් කෙටුම්පත් කිරීමට මහචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර මහතා ඇතුළු 13 දෙනෙකු නම්කර මණ්ඩලයක් පිහිටුවු බව ද සඳහන් කළේය.


ඒ සඳහා කැබිනට් පත්‍රිකාවක් සකස් කර පනත් කෙටුම්පත කැබිනට් මණ්ඩලයට දැමු බවත් දිනේෂ් ගුණවර්ධන අගමැතිවරයාගේ මැදිහත් වීම මත කැබිනට් අනුමැතිය ලැබුණු බව ද කීය. 


ඒ අනුව මේ වෙන විට ඒ කැබිනට් පත්‍රිකාවට අනුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ජල කළමනාකරණ පනත හදමින් සිටින බව ද ඒ මහතා පැවසීය.