ජනගහණයෙන් සියයට අනූවක් නිවසට සීමා කරන්න


කොවිඩ් පාලනයට දැඩි නීති ඕනෑ  

සෞඛ්‍ය අංශ ජනපතිගෙන් ඉල්ලයි

(දයාසීලි ලියනගේ)

කොරෝනා වසංගතය පැතිරීම ඉතාමත් අවම කර ගැනීම සඳහා රටේ ජනතාවගෙන් සියයට 90ක්ම නිවෙස්වල රඳවා තැබිය යුතු යැයි වෛද්‍ය අංශ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග පැවැති සාකච්ඡාවකදී පෙන්වා දී ඇත.  

සියයට 90ක පිරිස සති දෙකක කාලයක් නිවෙස්වලම රඳවා නොතිබුණහොත් රෝගය ව්‍යාප්තවීමේ වේගය අඩාල කර ගැනීමට නොහැකි වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා කීය.

  
දැනට සංචරණ නීති ක්‍රියාත්මක වුවත් එය ප්‍රමාණවත් නොවන බවද වෛද්‍යවරයා කීය. 


මේ වනවිට රෝගය පැතිරීමේ වේගය දැඩි අවදානම් තත්ත්වයක පවතින අතර ජනගහණ ප්‍රතිශතය අනුව ඉන්දියාවට වඩා වැඩිවේගයක් පෙන්නුම් කරන බවද ඔහු ප්‍රකාශ කළේය.  


ඉන්දියාවේ ජනගහනය අනුව මිලියනයකින් මියයන සංඛ්‍යාව සියයට දෙකක් වී ඇති අතර, අපේ රටේ මිලියනයකට මියයන සංඛ්‍යාව සියයට 1.7ක් වී ඇති බව දත්ත තොරතුරු අනාවරණය කර තිබෙන බවද වෛද්‍ය සොයිසා මහතා සඳහන් කළේය.  


මේ අතර කොරෝනා එන්නත ලබාදීමේදී අවුරුදු 60ට වැඩි අයට හා ගර්භණී කාන්තාවන් සඳහා ප්‍රමුඛතාව ලබාදෙන ලෙසට ද ඉල්ලීමක් කර ඇතැයි ඔහු ප්‍රකාශ කළේය.