ජංගම දුරකථනය මේ රටේ අත්‍යවශ්‍ය භාණ්ඩයක්


මහාචාර්ය රොහාන් සමරජීව 

(උපුල් වික්‍රමසිංහ)   

නිවාසවල වැඩියෙන්ම භාවිත වන විද්‍යුත් මෙවලම ජංගම දුරකථනය නිසාත් කොවිඩ් 19 වසංගතය හමුවේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වැඩි වශයෙන් ස්මාර්ට් ජංගම දුරකථන හරහා සිදුවන නිසාත් ජංගම දුරකථනය අත්‍යවශ්‍ය හා හදිසි භාණ්ඩයක් වන බව මෙරට තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රවීණයකුවන ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්‍ෂ ජනරාල්වරයකු ද වන මහාචාර්ය රොහාන් සමරජීව මහතා පවසයි.   

ශ්‍රී ලංකාවේ අන්තර්ජාලය පරිහරණය කරන්නන්ගෙන් ආසන්න වශයෙන් සියයට අසූවක් පමණ එයට ප්‍රවේශ වන්නේ ස්මාර්ට් ජංගම දුරකථන භාවිතයෙන් බව සඳහන් කරන මහාචාර්යවරයා කොවිඩ් 19 වසංගතය හමුවේ සිට අධ්‍යාපනය ලබාදීම හා නිවෙස්වල සිට රැකියාවල නිතර වීම යන ක්‍රියාමාර්ග පවත්වා ගෙනයෑම පිණිසද ජංගම දුරකථන වැදගත් මෙවලමක් බවට පත්ව ඇති බව පෙන්වා දෙයි.   


අපනයන අංශයේදී තොරතුරු තාක්ෂණයට අදාළ මෘදුකාංග හා සේවා අපනයනය හරහා ඩොලර් බිලියන 0.97 ක ආදායමක් ලැබී ඇතැයි කියන සමරජීව මහතා මෙවැනි වසංගත අවස්ථාවක අපනයන ආර්ථික කටයුතු නිසි පරිදි පවත්වාගෙන යෑමට අවැසි සම්බන්ධීකරණ කටයුතු පහසුකරලීම සඳහා ද ජංගම දුරකථනය බෙහෙවින් ප්‍රයෝජනවත් බව අවධාරණය කරයි.