චන්ද්‍රිකා නැවත එයි


අජන්ත කුමාර අගලකඩ

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග නැවත ක්‍රියාකාරීව එක්වෙමින් දේශපාලන කටයුතු කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.


ඒ සඳහා කුමාරතුංග මහත්මියට පක්ෂයේ තනතුරක් සහ වගකීම්  දිය යුතු බවට ඇයගේ පාර්ශ්වයෙන් යෝජනාවක්ද ඉදිරිපත් වී ඇතැයි දැනගන්නට ඇත.

කුමාරතුංග මහත්මිය මේ සම්බන්ධයෙන් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ ද සාකච්ඡා කර ඇති අතර, ඒ අනුව ඇය ඉදිරියේ දී ශ්‍රීලනිපය සමඟ ක්‍රියාකාරීව සම්බන්ධ වෙනු ඇත.


මේ අතර, හිටපු ජනාධිපතිනිය සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පස්දෙනකු පත් කරනු ඇත.
පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරුන් වන, මහින්ද අමරවීර, ෂාන්  විජයලාල් ද සිල්වා, වැඩබලන මහලේකම් දුෂ්මන්ත මිත්‍රපාල, ජාතික සංවිධායක දුමින්ද දිසානායක සහ  භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්න යන මහත්වරු මෙසේ පත් කරනු ලැබ සිටිති. එම පස් දෙනා සහ හිටපු ජනාධිපතිනිය අතර මේ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ලබන 09 වැනිදා හවස 06:00 ට ටොරින්ටන්හි පිහිටි හිටපු ජනාධිපතිනියගේ නිල නිවසේ දී පැවැත්වීමට නියමිතය.


තමන්ට පක්ෂයේ කටයුතු කරගෙන යාම සඳහා පක්ෂයේ සභාපති ධුරය වැනි තනතුරක් ලැබීම වඩා සුදුසු බවට කුමාරතුංග මහත්මියගේ පාර්ශ්වයෙන්  යෝජනා වී ඇති අතර, ඒ සඳහා පක්ෂයේ එකඟතාවක් ලැබුණහොත් පක්ෂයේ සභාපති සහ නායක යන තනතුරු දෙකක් අලු‍තින් ඇති කිරීමට නියමිතව ඇතැයි දැනගන්නට ඇත. 
හිටපු ජනාධිපතිනියගේ හදිසි දේශපාලන ආගමනය සම්බන්ධයෙන් දේශපාලන කරළියේ දැඩි කතාබහක් ද මේ වෙන විට ඇතිව තිබේ.