ගොවීන්ගෙන් වී මිලදී ගන්න ආණ්ඩුවේ මන්ත්‍රීවරු රජයෙන් ඉල්ලති


 

අජන්ත කුමාර අගලකඩ 

ගොවීන්ගේ වී මිලදී ගැනීම සඳහා වහාම වැඩපිළිවෙළක් සකස් කරන්නැයි ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් රජයෙන් ඉල්ලීමක් කර ඇත. 

අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් දා පාර්ලිමේන්තුවේ පැවති ආණ්ඩු පක්ෂ රැස්වීමේදී ද මන්ත්‍රීවරුන් මෙම ඉල්ලීම කර ඇත. 
රාජ්‍ය බැංකු දෙකෙන් අවශ්‍ය අරමුදල් සපයා නොදීම නිසා, වී අලෙවි මණ්ඩලය වී මිලදී ගැනීම නවතා දමා ඇති බවත්, මේ තත්ත්වය තුළ ගොවියා ශක්තිමත් කරන්නේ කෙසේද යන්න බරපතළ ගැටලු‍වක් බවත් එම මන්ත්‍රීවරුන් පෙන්වා දී ඇත. 


එහිදී අදහස් දක්වා ඇති කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර මහතා වී මිලදී ගැනීම සඳහා මණ්ඩලයට රුපියල් කෝටි දෙසීයක් ලබාදෙන්නැයි රාජ්‍ය බැංකු දෙකකින් ඉල්ලීමක් කර ඇතත්, සත පහක්වත් මේ වන තෙක් ලැබී නැතැයි ප්‍රකාශ කර ඇත. 


මේ සඳහා වහාම මැදිහත්වන්නැයි අමරවීර මහතා මුදල් රාජ්‍ය ඇමති රංජිත් සියඹලාපිටිය මහතාගෙන් ද ඉල්ලීමක් කර ඇත. 
වී මිලදී ගැනීමේ වැඩපිළිවෙළ දැනටමත් සති දෙක තුනක්ම ප්‍රමාද වී ඇති බැවින්, වහාම ඒ සඳහා මුදල් ලබා දීමට මැදිහත්වන්නැයි ඇමැතිවරයා ඉල්ලා ඇත.