ගුවන් තොටුපළෙන් යනෙන අයගේ දත්ත ලබාගන්න පද්ධතියක් ඇමෙරිකාවෙන් නොමිලේ


අංජුල මහික වීරරත්න

ගුවන් තොටුපොළ හා වරාය හරහා මෙරටට පැමිණෙන පුද්ගලයන් පිළිබඳව ක්ෂණික දත්ත ලබා ගත හැකි නවීන තාක්ෂණයෙන් යුතු දේශසීමා පාලන පද්ධතියක් මෙරටට නොමිලේ ලබාදීමට ඇ​ෙමරිකා එක්සත් ජනපද රජය කැමැත්ත පළ කර ඇත.

ගුවනින් හා මුහුදින් දේශ සීමා උල්ලංඝනය කරන්නේද යන්න පිළිබඳව ද එම පද්ධතියට තොරතුරු ග්‍රහණය කර ගැනීමට හැකි වෙයි.


ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් යන මහත්වරුන්ගේ මූලිකත්වයෙන් ජනාධිපති කාර්යාලයේ පැවැති සාකච්ඡාවක දී ඇමරිකා එක්සත් ජනපද දූත පිරිස එසේ කැමැත්ත පළ කර ඇත. දේශසීමා පාලන පද්ධතිය නොමිලේ ලබාදීම සම්බන්ධයෙන් මෙහිදී වැඩි දුරටත් සාකච්ඡා වී ඇති අතර, එයින් රටට ඇතුළු වෙන හා මෙරටින් පිටවන සියලු පුද්ගලයන් හඳුනා ගැනීමේ අවකාශය හිමිවේ. 


ත්‍රස්තවාදී ක්‍රියාවලට සම්බන්ධ පුද්ගලයන්ගේ තොරතුරු මෙන්ම අපරාධකරුවන්ගේ තොරතුරුද මේ පද්ධතියේ තිබෙන බැවින් ස්වයංක්‍රීයව එම තැනැත්තන් හඳුනා ගැනීමේ පහසුකම හිමි වන බව රජය පවසයි.


යම් අයකු අපරාධයක් කොට රටින් පිටවීමට උත්සාහ ගන්නේ නම් එයද මෙම පද්ධතිය මගින් වැළැක්විය හැකි බව රජය සඳහන් කරයි. මෙම දත්ත පද්ධතිය ලංකාවට ගැළපෙන්නේ ද? නැති ද? යන්න ගැන තවදුරටත් ඉදිරියේ දී රජය විසින් අධ්‍යයනය කිරීමට නියමිතය.