ගුරු පුරප්පාඩු 32,000 පනී


ඉන්දික හේවිතාරණ

ගුරු පුරප්පාඩු ප්‍රමාණය මේ වෙන විට තිස් දෙදහස (32,000) ඉක්මවා ගොස් තිඛෙන බවත් මේ  නිසා  පහ වසරේ සිට දහතුන වසර දක්වා පන්තිවල විෂයයන් ඉගැන්වීමේදී ගැටලු රැසක් ඇතිවී තිඛෙන  බවත් ලංකා ගුරු සංගමය සඳහන් කරයි.

ගුරු හිඟයට අමතරව, විදුහල්පති සේවාවේ පුරප්පාඩු හයදහසකට (6000) ආසන්න ප්‍රමාණයක් ඇති වී තිඛෙන බවත්, මේ නිසා පාසල් පරිපාලන කටයුතු සිදුකිරීමේදීත් ගැටළු ඇතිවී තිබෙන බවත්  පොදුවේ පවතින ගැටළු සැලකීමේදී පාසල් පද්ධතිය මේ වෙන විට දැඩි අර්බුදයකට ලක්ව තිඛෙන බවද එම සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසා සිටියේය 


විද්‍යාව, ගණිතය, ඉංග්‍රීසි විෂයන් ඉගැන්වීමට අදාළව ගුරු පුරප්පාඩු විශාල ප්‍රමාණයක් ඇති වී තිබෙන බවත් මේ නිසා සාමාන්‍ය පෙළ හා  උසස්පෙළ විභාග සඳහා පෙනීසිටින සිසුන්ට දැඩි අසාධාරණයක් සිදුවෙමින් තිබෙන බවද සඳහන් කළේය. බස්නාහිර පළාත් පාසල්වල පමණක් ගුරු  පුරප්පාඩු 4,937ක් පවතින බවත් මීට අමතරව උතුරු මැද පළාත තුළ පුරප්පාඩු 3,825ක් පවතින බවද හෙතෙම පවසා සිටියේය. 
මේ ආකාරයට සෑම පළාතකම පිහිටි පාසල්වල ගුරු පුරප්පාඩු පවතින බවත්, පුරප්පාඩු සඳහා බඳවා ගැනීම් සිදුකරන බවට සඳහන් කළද, ගුරුවරුන් බඳවා ගැනීමට රජයට කිසිදු වැඩපිළිවෙළක් නොමැති බවත් ලේකම්වරයා පැවසීය. 


මෙම පුරප්පාඩු ඇතිවී තිබෙන්නේ ගෙවී ගිය වසරක කාලය තුළදී ගුරුවරුන් පන්දහසකට (5000) ආසන්න ප්‍රමාණයක් ගුරු සේවයෙන් ඉවත්ව යාම හා වයස අවුරුදු 60 සම්පූර්ණ වීම නිසා එකවර විශාල ප්‍රමාණයක් විශ්‍රාම යාම නිසා බවද පවසා සිටියේය


දේශීය හා විදේශීය නිවාඩු  ලබාගෙන අධ්‍යාපන කටයුතු සිදුකිරීමට හෝ වෙනත් රැකියාවක් සඳහා යොමුවීමට අවස්ථාවක් ලබා දී තිබූ බවත් එහෙත් මේ වෙන විට අදාළ නිවාඩු ලබා නොදෙන නිසා පන්දහසකට ආසන්න ප්‍රමාණයක් ගුරු සේවය හැර ගොස් තිඛෙන බවද සඳහන් කළේය


විෂය කරුණු ඉගැන්වීම සඳහා ගුරුවරුන් බිහිකරනු ලබන්නේ  විද්‍යාපීඨ මගින් බවත්, පවතින තත්ත්වය තුළ විද්‍යාපීඨවලින් ගුරුපුහුණුව ලැබූ  කණ්ඩායමක් සේවයට එක්වීමට නියමිතව තිබෙන්නේ 2025 වසරේ දී බවද පවසා සිටියේය.


මේ වසරේදී විද්‍යාපීඨ සඳහා සිසුන් අටදහසකට ආසන්න පිරිසක් බඳවා ගැනීමට තෝරාගෙන තිබුණත්  විද්‍යාපීඨ පුහුණුවට බඳවා ගැනීම් දිගින් දිගටම කල්යමින් තිබෙන බවද සඳහන් කළේය.