ගුරු අරගලය මර්දනයට එරෙහිව හෙට රට පුරා උද්ඝෝෂණ මාලාවක්


(උපුල් වික්‍රමසිංහ)  

සිය ඉල්ලීම්වලට සාධනීය ප්‍රතිචාර නොදැක්වීමට හා ගුරු අරගලය මර්දනය කිරීමට ආණ්ඩුවේ ඇතැම් අමාත්‍යවරුන් හා නිලධාරීන් ගන්නා නිර්ලජ්ජිත ක්‍රියාමාර්ගවලට විරෝධය පෑම සඳහා හෙට 25 දිනයේදී දිවයින පුරා උද්ඝෝෂණ මාලාවක් සංවිධානය කරන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ඉරිද‌ා ලංකාදීපයට පැවසීය.  

ආණ්ඩුවේ සියලු තර්ජන ගර්ජන හමුවේ ගුරුවරුන් නොසැලී මේ අරගලයෙහි යෙදී සිටින බව කී ඒ මහතා ගුරුවරුන් සඳුද‌ා දින සේවයට වාර්තා කර සවස 1.30 න් පසු අද‌ාළ උද්ඝෝෂණයෙහි නිරත වන බවත් අදියර හතර යටතේ සියලු පාසල් විවෘත කළ පසු ඉදිරියේදී ගන්නා වෘත්තීය ක්‍රියාමාර්ග තීරණය කරන බවත් සඳහන් කළේය.  


ගුරු සේවා ව්‍යවස්ථාවට අනුව සුදුසුකම් සපුරන අය තරග විභාගයකින් ගුරු සේවයට බඳවා ගත යුතු වුවත් ගුරුවරුන්ගේ අරගලය මර්දනය කිරීමේ අරමුණින් අභ්‍යාසලාභී උපාධිධාරීන් එක් පාසලකට පස්දෙනා බැගින් සේවයට කැඳවීමට ගත් තීරණය ගුරු ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බව ද ලේකම්වරයා කීය.