ගාලු වරායේ ව්‍යාපෘතියකින් කෝටි 42 ක් වතුරේ


සුජිත් හේවාජුලිගේ  

ගාලු වරායේ බහුකාර්ය පර්යන්තයක් ඉදිකිරී​මේ ව්‍යාපෘතියේ උපදේශක ගාස්තු වශයෙන් වැය කරන ලද රුපියල් කෝටි හතළිස් දෙකකට ආසන්න මුදලක් එම ව්‍යාපෘතිය අතරමග නතර වීම නිසා අපතේ ගොස් ඇතැයි ශ්‍රී ලංකා වරාය අධිකාරිය සම්බන්ධයෙන් නිකුත් කර ඇති විගණකාධිපති වාර්තාවේ සඳහන් වේ.


එම වරාය ව්‍යාපෘතිය ශ්‍රී ලංකා රජය සහ අන්තර්ජාතික සහයෝගිතාව සඳහා වූ ජපාන බැංකුව අතර ඇති කර ගන්නා ලද ණය ගිවිසුමක් යටතේ ක්‍රියාත්මක කිරීමට එකඟව තිබිණ.

ලෝක උරුමයක් ලෙස නම් කර ඇති ගාලු කොටුව ආශ්‍රිතව එම ඉදිකිරීම් සඳහා යුනෙස්කෝ සංවිධානයෙන් අනුමැතිය ලබාගත යුතුව තිබූ බවත් ඒ සඳහා වසර තුනකට අධික කාලයක් ගතවීම හේතුවෙන් ණය ප්‍රදානකරු විසින් ණය කාලසීමාව දීර්ඝ නොකරනු ලැබීම නිසා ව්‍යාපෘතිය මෙසේ නතර කර ඇති බවත් එම වාර්තාව සඳහන් කරයි.  


උපදේශන ගාස්තු ලෙස ගෙවන ලද ​මේ මුදල අධිකාරියේ 2020 වර්ෂයේ මූල්‍ය ප්‍රකාශන තුළ කෙරීගෙන යන වැඩ යටතේ දක්වා තිබූ බවද එම විගණන වාර්තාව පෙන්වා දෙයි. ගාලු වරායේ මේ බහුකාර්ය පර්යන්තය ඉදිකිරීමේ කටයුතු ආරම්භ කිරීමට තීරණය කර තිබුණේ දක්ෂිණ ප්‍රදේශ සංවර්ධනය වැඩ සටහන යටතේය.