ගත්තු බෙහෙත් වෙනුවෙන් කෝටි 428 ක් ගෙවා නෑ


බැංකු දෙකක්, සැපයුම්කරුවෝ අමාරුවේ

සුජිත් හේවාජුලිගේ  

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව දේශීය වෙ​ෙළඳපොළෙන් ඇණවුම් කර තිබූ ඖෂධ ඇතුළු වෛද්‍ය සැපයුම් වෙනුවෙන් සැපයුම්කරුවන්ට සහ ප්‍රධාන රාජ්‍ය බැංකු දෙකට රුපියල් කෝටි 428 ක පමණ මුදලක් ගෙවා නැතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. 

ඖෂධ සැපයුම්කරුවන්ට රුපියල් කෝටි 311 ක මුදලක් ද මහජන බැංකුවට රුපියල් කෝටි 92 ක මුදලක් ද ලංකා බැංකුවට රුපියල් කෝටි 25 ක මුදලක් ද මෙලෙස ගෙවා නොමැත.  
මේ තොරතුරු සඳහන් වන්නේ රජයේ රෝහල්වල (මේ වසරේ මැයි මාසය වන විට) ඖෂධ හිඟය සහ එය මඟහරවා ගැනීමට ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳ විගණන වාර්තාවේය.  
මේ අතර රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව වෛද්‍ය සැපයුම් අංශයේ ඇණවුම් වෙනුවෙන් ණයවර ලිපි නිකුත් කිරීම සඳහා සැපයුම්කරුවන්ට ගෙවීමට සහ ආනයන හා නිෂ්කාශන කටයුතු සඳහා රුපියල් කෝටි 713 ක් ද වෛද්‍ය සැපයුම් වෙනුවෙන් ලබාගත් බැංකු අයිරා පහසුකම් පියවීම සඳහා රුපියල් කෝටි 1598 ක් ද අවශ්‍ය වී පවතින බව එම සංස්ථාව තොරතුරු ඉදිරිපත් කර ඇතැයි ජාතික විගණන කාර්යාලය පවසයි.  


විනිමය හිඟය හේතුවෙන් සංස්ථාවට සැපයුම් 24 කට අදාළව ඇමරිකානු ඩොලර් හතළිස් ලක්ෂයක් ද යුරෝ තුන්ලක්ෂයක් ද ඩෙන්මාර්ක් ක්‍රෝන් විසිපන් ලක්ෂයක් ද වටිනා විදේශ ණයවර ලිපි විවෘත කිරීමට නොහැකිව පැවතුනු බව ද එම විගණන වාර්තාවේ සඳහන් වේ.