කෝටි 11ක පරිගණක හොර පාරෙන් ලංගමයට අරන්


වුවමනා 139යි 800ක් අරන්

සුජිත් හේවාජුලිගේ

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතියකින් තොරව මුදල් අවභාවිත කරමින් පරිගණක යන්ත්‍ර 800ක් මිලදී ගැනීම සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝප් කමිටුව) දැඩි අප්‍රසාදය පළවී ඇත.

පරිගණක අටසියයක් මිලදී ගත්තද මණ්ඩලයට අවශ්‍යව තිබූ සත්‍ය පරිගණක සංඛ්‍යාව 139ක් බව කෝප් කමිටු විමර්ශනවලදී තොරතුරු අනාවරණය වී ඇත.   


ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සඳහා පරිගණක මිලදී ගැනීමේදී ඇස්තමේන්තුගත මුදලට වඩා රුපියල් කෝටි එකොළහකට වැඩි මුදලක් වැය කිරීම සම්බන්ධයෙන්ද එම කමිටුවේ අවධානය යොමුවී ඇත. මේ පරිගණක මිලදී ගෙන ඇතැයි පැවසෙන්නේ 2018 වර්ෂයේදීය. 


මේ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කෝප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට නිර්දේශ කර ඇත.