කොළඹට ජලය සීමා කිරීමේ අවදානමක්


පෝෂක ජලාශ සිඳිලා:

(දයාසීලි ලියනගේ)  

ජලාශවල සීඝ්‍රයෙන් ජලය හිඟ වෙමින් පවතින නිසා කොළඹට අවශ්‍ය බීමට ගන්නා ජලය සීමා කිරීමට සිදුවන තත්ත්වයක් උදාවී ඇති බව වාර්තා වේ. 

කොළඹට ජලය සැපයීම සඳහා කැලණි ගඟට ජලය ලබා දෙන කාසල්රි සහ මා උස්සාකැලේ ජලාශවල ජලය සිඳීයාම වේගයෙන් සිදු වන නිසා ලබන පෙබරවාරි හෝ මාර්තු මාසය වන විට ජලය සීමා කිරීමට සිදුවනු ඇතැයි රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් කීය.

 

මේ වන විට විදුලිය නිපදවීම සඳහා ජලය බහුලව පාවිච්චි කරන අතර ජලය සිඳීයාමේ වේගය අනුව විදුලිය නිපදවීම සීමා කර, බීමට අවශ්‍ය ජලය පමණක් ලබා දීමට සිදුවන බවද ඔහු සඳහන් කළේය.  
මේ වන විට කාසල්රී ජලාශ්‍රයේ ජල මට්ටම සියයට 55 දක්වා ද මාඋස්සාකැලේ ජල මට්ටම සියයට 60 දක්වාද දින 20 ක් තුළ අඩුවී ඇති බව වාර්තා වේ. ජල මට්ටම පහළ බැසී​මේ දැන් පවතින වේගය අනුව හදිසි වර්ෂාවක් ඇති නොවුණොත් ජලය සීඝ්‍රයෙන් අඩුවනු ඇතැයි ද ඔහු කීය.