කොවිඩ් කාලෙදී රැස්වීම්වල කන්න බොන්න විතරක් ලක්ෂ හතළිහක් වැය කරලා


නීතිපති දෙපාර්තමේන්තුව ගැන විගණනයෙන් අනාවරණයක්

නිමන්ති රණසිංහ   

කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් රට ආර්ථික වශයෙන් විශාල පසුබෑමකට ලක්ව තිබියදී නීතිපති දෙපාර්තමේන්තුව 2021 වර්ෂයේදී පැවැත්වූ කෙටි රැස්වීම් සහ සාකච්ඡාවල සංග්‍රහ දීමනා ලෙස රුපියල් හතළිස් ලක්ෂයකට වැඩි මුදලක් වැය කර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලු‍ත්ම වාර්තාවක සඳහන් වේ.


රටේ ආර්ථික තත්ත්වය හේතුවෙන් රජයේ වියදම් සීමා කර තිබියදී මේ ආකාරයට මුදල් වියදම් කිරීම ගැටලු‍කාරී බවද එහි දැක්වේ.   

නීතිපති දෙපාර්තමේන්තුවේ 2021 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේ ඉහත කාරණය සඳහන් කර ඇත්තේ අනාර්ථික ගනුදෙනු යන මාතෘකාව යටතේය.   


මේ අතර නීතිපති දෙපාර්තමේන්තුව කුලියට ගනු ලැබූ ගොඩනැගිල්ලක් සඳහා විදුලි බිල්පත් ගෙවීමේදී මාසික විදුලි පරිභෝජන වියදමට අමතරව අමතර ගෙවීමක් කර තිබූ බව 2021 ජනවාරි සිට මැයි දක්වා ගෙවීම් වවුචර පරීක්ෂාවේදී නිරීක්ෂණය වී යැයි විගණන නිලධාරීහු පෙන්වා දෙති.