කොවිඩ් අවදානම් අය බූස්ටරය ගන්නවා නම් හොඳයි


මහාචාර්ය චන්දිම ජීවන්දර

සුජිත් හේවාජුලිගේ 

ලෝකය පුරා  පැතිර යන ඔමික්‍රොන් ජේ.එන් 1 නව ප්‍රභේදයේ සංකූලතා අවම වුවත් ඒ ගැන අවධානයෙන් සිටීම ඉතා වැදගත් බව  ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යනාංශයේ ප්‍රධානී මහාචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවසීය.

විශේෂයෙන්ම වයස්ගත අය, විවිධ නිධන්ගත රෝගවලින් පෙළෙන අය දුර්වල ප්‍රතිශක්තියක් ඇති අය, විවිධ සංකූලතා ඇති අය මුව ආවරණ පැලඳීම ඇතුළු  සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේද නැවත අනුගමනය කළ යුතු බවද ඔහු සඳහන් කළේය.


දිගින් දිගටම පවතින අධික උණ තත්වය, කැස්ස, සුවඳ සහ රස නොදැනීම, ආහාර අරුචිය, වමනය, කොවිඩ් නව ප්‍රභේදයේ රෝග ලක්ෂණ බව පැවසූ මහාචාර්යවරයා මෙවැනි රෝග ලක්ෂණ ඇත්නම් කඩිනමින් වෛද්‍ය උපදෙස් ගැනීම වැදගත් බවද ප්‍රකාශ කළේය.


නව ප්‍රභේදය ශ්‍රී ලංකාවට ඇතුළුවී ඇති බව තමාගේ විශ්වාසය යැයි පැවසූ චන්දිම ජීවන්දර මහතා අවදානම් සහිත පිරිස් බූස්ටර් එන්නත ගැනීම වැදගත් බවද පෙන්වා දුන්නේය.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන වසංගත රෝග විද්‍යා ආයතනයේ විශේෂඥ වෛද්‍ය  චින්තන පෙරේරා මහතා හැකි සෑම අවස්ථාවකම මුව ආවරණ පලඳින ලෙස  ඉන්දියාවේ දඹදිව ඇතුළු විදේශ සංචාරවල යෙදෙන ජනතාවගෙන්  ඉල්ලීමක් කළේය.


විදේශ සංචාරවලදී අසනීප තත්වයක් ඇති වුවහොත් වහා වෛද්‍ය උපදෙස් ගැනීම වැදගත් බවද ඔහු සඳහන් කළේය.


මේ අතර රටේ කොවිඩ් තත්වය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරන වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වයිරස රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය රෝහිත මුතුගල මහතා පවසන්නේ රට පුරා විවිධ ප්‍රදේශවලින් ජෛව පටල නියැදි ලබාගෙන ඒවා පරීක්ෂා කරගෙන යන බවයි.


නව  වයිරස ප්‍රභේදයේ පැතිරීම ගැන ඒ අනුව ඉදිරියේදී දැනගත හැකි වනු ඇතැයිද ඔහු සඳහන් කළේය. එසේම කොවිඩ් පිළිබඳ ආවේක්ෂණ කටයුතු රට පුරා කරගෙන යන බවද ඔහු කීවේය.


කොවිඩ්  දැන්  මතු වන්නේ සෙම්ප්‍රතිෂ්‍යාව  වැනි  පොඩි අසනීපයක් විදියට බවත් එවැනි අවස්ථාවලදී පරීක්ෂා කිරීමට අවශ්‍යතාවක් නැති බවත් මුතුගල මහතා පැවසීය. කොවිඩ්  ජාන විශ්ලේෂණ  අවසාන පරීක්ෂණයේදී නව ප්‍රභේදය තිබී හමුවී නැතැයිද ඔහු සඳහන් කළේය.
කොවිඩ් වැළඳුණු කිහිපදෙනෙක් පසුගිය දිනවල මියගියහ.