කොරියා රැකියා පන්දාහක් අහිමි වන හැඩ


(පද්මිණි මාතරගේ)   

කොරියා රැකියා සඳහා යාමට සුදුසුකම් ලැබූ 5000කට ආසන්න තරුණයන්ගේ රැකියා අවදානමකට ලක්ව ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ‘එතෙර අපි’ සංවිධානයේ සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.   

පවතින කොරෝනා වසංගත තත්ත්වය හමුවේ කොරියානු රැකියා සඳහා පිටත් වීමට සුදුසුකම් ලබා සිටින 5000කට ආසන්න පිරිසකගේ අවස්ථාව ආණ්ඩුව විසින් අහිමි කර ඇති බව ද ඒ මහතා චෝදනා කර සිටී.   
මෙය බරපතළ අසාධාරණයක් යැයි ද පවසන ඒ මහතා, ආණ්ඩුව විසින් එම අවස්ථාව අහිමි කර තිබීමෙන් ශ්‍රී ලංකාවට හිමිව තිබෙන කොරියානු රැකියා කෝටාව වෙනත් රටවල් වෙත ලබා දීමේ අවදානමක් ද මතුව තිබෙන බව පවසයි.   


සුදුසුකම් ලබා සිටින අදාළ පිරිසට එම අවස්ථාව ලබාදීමට ආණ්ඩුව වහා පියවර ගත යුතු බවත්, කොරෝනා තත්ත්වය පිට දමා මෙම අවස්ථාව අහිමි කිරීම අසාධාරණ යැයි ද පෙන්වා දෙන ඒ මහතා, පිලිපීනය, නේපාලය ඇතුළු රටවල් ගණනාවක පිරිස් වෙත රැකියා අවස්ථා ලැබී තිබෙන බව ද කීය.