කොමිස් මුදල් මදි වීමෙන් ඔසුසැල් වැසේ


ඉන්දික හේවාවිතාරණ

ඔසුසල් හිමියන්ට ඖෂධ අලෙවි කිරීමේ දී ප්‍රමාණවත් කොමිස් මුදලක් නොලැබීම නිසා දෛනිකව ඔසුසැල් වැසී යමින් තිබෙන බව සමස්ත ලංකා පෞද්ගලික ඔසුසල් හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

ඖෂධ අලෙවි කිරීමෙහි දී මේ වන විට හිමිවන්නේ  සියයට 15-17 අතර ලාභයක් පමණක් බවත්, විදුලිබිල්, ජලබිල් ඉහළ යාම හා සේවක වැටුප් ඉහළ යාම නිසා මෙම ලාභයෙන් අදාළ ආයතන නඩත්තු කිරීමට නොහැකි වී තිබෙන බවත්, මේ නිසා ලාභය සීයට20 ක් බවට පත් කළ යුතු බවත් එම සංගමයේ සභාපති, චන්දික ගන්කන්ද  මහතා සඳහන් කළේය.


මීට අමතරව ඖෂධ ගෙන්වන සමහර සමාගම් අධික ලාභයක් තබාගෙන අලෙවි කරමින් තිබෙන බවත් මේ නිසා ඖෂධ සඳහා මිල සූත්‍රයක් කඩිනමින් හඳුන්වා දිය යුතු බවත් හෙතෙම පවසා සිටියේය.


මේ වනවිට රට තුළ ඖෂධ වර්ග 1200ක් පමණ අලෙවි කරමින් තිබෙන බවත්, මෙ ඖෂධ වර්ගවලින් මිල නියාමනයකට යටත් වන්නේ ඖෂධ වර්ග 60ක ප්‍රමාණයක් පමණක් බවත් සඳහන් කළේය.


මේ නිසා ආනයනකරුගේ ලාභය, තොග බෙදාහරින්නන්ගේ ලාභය හා ඔසුසැල් හිමියන්ගේ ලාභය ඇතුළත් කර සියලු‍ම ඖෂධ වර්ග මිල නියාමනයකට ලක් කර ජනතාවට සහන ලබාදිය යුතු බවත්, මහා පරිමාණයෙන් ඖෂධ ගෙන්වන සමාගම් සාධාරණ වෙළෙඳාමක් සිදුකළත් බොහෝ සමාගම් ඖෂධවලින් අධික ලෙස ලාභ උපයා ගන්නා බවත් සභාපතිවරයා පවසා සිටියේය.