කැබිනට් රාජ්‍ය ඇමති අර්බුදය මැදට ජනපති එයි


අජන්ත කුමාර අගලකඩ

කැබිනට් ඇමතිවරුන් සහ ඇතැම් රාජ්‍ය ඇමතිවරුන්  අතර ඇතිව තිබෙන අර්බුදය විසඳීම සඳහා මැදිහත්වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ.


ඒ අනුව, මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා රාජ්‍ය ඇමතිවරුන් පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් හෙට (03)පස්වරුවේ ජනාධිපති කාර්යාලයට කැඳවනු ලැබ ඇත. ඇතැම් කැබිනට් අමාත්‍යවරුන් රාජ්‍ය අමාත්‍යවරුන්ට විෂයන් හා ආයතන නොපැවරීම හේතුවෙන් ඇමතිවරුන් හා රාජ්‍ය අමාත්‍යවරුවන් අතර ගැටුමක්  ඇති වී තිබෙන අතර, මේ ගැන ජනාධිපතිවරයාටද පැමිණිලි කිරීමට එම රාජ්‍ය අමාත්‍යවරු පසුගියදා  රැස්වී තීරණය කළහ. ඉකුත් බදාදා සවස රාජ්‍ය  අමාත්‍යවරයකුගේ කාර්යාලයේ දී පොහොට්ටුවට  සම්බන්ධ රාජ්‍ය ඇමතිවරුන්  විසි දෙනකු පමණ රැස්වී මේ සම්බන්ධයෙන් ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇත.


අමාත්‍යාංශවල  විෂයපථයන් හා ආයතන තමන්ට පවරමින් ගැසට් නිවේදනයක් නිකුත් කරන ලෙසත්, රාජ්‍ය අමාත්‍යංශ  සඳහා ද ලේකම්වරුන් පත් කරන ලෙසත් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටීමට එම රාජ්‍ය අමාත්‍යවරු එහිදී තීරණය කළහ. ඒ අනුව, ඔවුන්ට ඇති මෙම ගැටලු‍ව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයා වේලාවක් ලබා දී ඇති අතර, එම හමුව හෙට පස්වරුවේ සිදු වනු ඇත .


රාජ්‍ය අමාත්‍යවරුන් ජනාධිපතිවරයා හමුවීමට යාමට පෙර හෙට පෙරවරුවේ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ද හමු වී සාකච්ඡා කිරීමට නියමිතය.