කාසල්රී ජලාශයෙන් බලාගාරයත් අනතුරේ


කෙසෙල්ගමු ඔයේ මැණික් ගැරිල්ලක්

ගුණසිංහ හේරත්

බගවන්තලාව සිට කාසල්රී ජලාශය දක්වා ජලය රැගෙන යන කෙසෙල්ගමු ඔයෙහි අඩි 15 සිට 20ක් තරම් ගැඹුරට හාරමින් මැණික් ගරන බව හරිත තරුණ සංවර්ධන පදනම නුවරඑළිය ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජි​නේරුට දන්වයි.

කෙසෙල්ගමු ඔයෙහි ගංවතුර පාලනය සඳහා නෝර්වුඩ් ප්‍රාදේශීය සභාව මගින් දියත් කර තිබෙන ව්‍යාපෘතියට මුවාවී මෙම මැණික් ගැරිල්ල ක්‍රියාත්මක වන බවද හරිත තරුණ සංවර්ධන පදනමේ සභාපති වාරිමාර්ග ඉංජිනේරුවරයාට යැවූ ලිපියෙහි සඳහන් වෙයි.


ගංවතුර පාලන ව්‍යාපෘතිය සඳහා ක්‍රියාත්මක ව්‍යාපෘතිය යටතේ ඔය ගැඹුරු කළ හැක්​කේ අඩි එකහමාරකට සහ පළල් කළ හැක්කේ අඩි එකහමාරකි. එහෙත් ඒ කොන්දේසි නොතකා අඩි 20ක් ගැඹුරට ඉල්ලම් සොයමින් ඔය හාරණ බව ද වාරිමාර්ග ඉංජිනේරුට යැවූ ලිපියෙහි සඳහන් වෙයි. 


මෙම මැණික් ගැරිල්ල නිසා කාසල්රී ජලාශය රොන්මඩවලින් පිරී යන බවද විමලසුරේන්ද්‍ර, ලක්ෂපාන, පොල්පිටිය සහ බ්‍රෝඩ්ලන්ඩ් ජල විදුලිබලාගාරවලට විදුලිය නිපදවීමට තිබෙන හැකියාව අවම වන බවද ඒ ලිපියෙහි සඳහන් වෙයි. මෙම නීති විරෝධී මැණික් ගැරිල්ල රාජ්‍ය නිලධාරීන්, දේශපාලකයන් සහ මැණික් ව්‍යාපාරිකයන් එක්ව පවත්වාගෙන යන බවද හරිත තරුණ සංවර්ධන පදනමේ සභාපතිවරයා හෙළි කරයි.